සමුපකාර අලෙවිසැල් මගින් මාසිකව රුපියල් 10,000කට වැඩි වටිනාකමකින් යුත් භාණ්ඩ මිලදී ගන්නා පාරිභෝගිකයින් සඳහා රුපියල් ලක්ෂ 03ක ආවරණයක් සහිත ජීවිත රක්ෂණයක් නොමිලේ ලබා දීමට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.

අනුරාධපුර විවිධ සේවා සමුපකාර සමිතියේ නියෝජිතයින් තෝරා ගැනීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙම ජීවිත රක්ෂණාවරණය පාරිභෝගිකයින්ට අමතරව සියලුම සමුපකාර සාමාජිකයින් සහ සේවකයින් වෙත ද ලබා දීමට සැලසුම් කර ඇත. එසේම සමුපකාර සේවකයින් සඳහා තෘප්තිමත් වැටුපක් සහ යටිතල පහසුකම් දියුණු කිරීම රජයේ අරමුණ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

සමුපකාර ව්‍යාපාරය ජාතික ආර්ථිකයේ ප්‍රබල කොටස්කරුවෙකු බවට පත් කිරීම සඳහා රජය දැවැන්ත ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් දියත් කර ඇති අතර, ඒ යටතේ සෑම ප්‍රාදේශීය බල ප්‍රදේශයකම ‘කෝප් සිටි’ (Coop City) අලෙවිසැලක් ආරම්භ කිරීමට අවශ්‍ය පහසුකම් සපයන බව හෙතෙම සඳහන් කළේය. මීට අමතරව නාගරික ප්‍රදේශවල මහා පරිමාණ ‘කෝප් සිටි’ පවත්වාගෙන යාම සඳහා අඩු පොලී අනුපාත යටතේ ණය මුදල් ලබා දීමට ද පියවර ගන්නා බව අමාත්‍ය වසන්ත සමරසිංහ වැඩිදුරටත් අවධාරණය කළේය.