සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී ඊයේ (06) අධිකරණයට බරපතළ ලෙස අපහාස වන අයුරින් අදහස් පළ කර තිබේ.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සෘජුවම ප්‍රකාශ කළේ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ නඩුව විභාග කරන ත්‍රිපුද්ගල මහාධිකරණය “කැලෑ උසාවියක්” බවයි. එමෙන්ම ඇමති බංගලාවක සිට දොරවල් වසාගෙන නඩු අසන බවටත්, දිනපතාම නඩු විභාග කිරීම ගැටලු සහගත බවටත් ඔහු එහිදී විවේචනාත්මකව අදහස් දැක්වීය.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් සහ සමස්ත සමාජයම අපේක්ෂා කරන යුක්තිය ඉටුකිරීම උදෙසා ත්‍රිපුද්ගල මහාධිකරණය දිනපතා නඩු විභාග පවත්වමින් සිටින පසුබිමක, මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශය දැඩි කතාබහට ලක්ව ඇත. ක්‍රියාකාරී අධිකරණයක් ‘කැලෑ උසාවියක්’ ලෙස හඳුන්වා දීමෙන් ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය පිළිබඳ බරපතළ වැරදි චිත්‍රයක් මැවෙන බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී මෙවැනි ප්‍රකාශ සිදුකිරීම තුළින් මුජිබර් රහුමාන් අන්තවාදී ඝාතකයින්ගේ න්‍යාය පත්‍රයට අනුව කටයුතු කරන්නේ ද යන්න පිළිබඳව සැකයක් මතුවන බව ද එම විචාරකයෝ වැඩිදුරටත් සඳහන් කරති.