නවීකරණය කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය හුදෙක් ගෘහ නිර්මාණ ශිල්පයේ සංකේතයක් පමණක් නොව, යුක්තිය, සාධාරණත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ශක්තිමත් වන සමාජයක් වෙනුවෙන් පවතින ජීවමාන සාක්ෂියක් බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසයි.
කොළඹ අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය යටතේ පූර්ණ නවීකරණයට ලක් කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රය විවෘත කිරීමේ උත්සවයට ඊයේ (05) පස්වරුවේ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවති අතර අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ චීන තානාපති චී ජෙන්හොන් (Qi Zhenhong) ඊට එක්වූහ.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වයේ ප්‍රතිඵලයක් ලෙස 1988 වසරේදී මෙම ගොඩනැගිල්ල ප්‍රදානය කළ බවත්, වර්තමානයේ එහි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ද චීන රජය තාක්ෂණික සහ මූල්‍ය දායකත්වය ලබා දුන් බවත්ය. යුවාන් මිලියන 240ක ඇස්තමේන්තුවක් යටතේ ආරම්භ වුවද, යුවාන් මිලියන 229කින් මෙම ව්‍යාපෘතිය නිම කිරීමට හැකි වී තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අවසන් ආරක්ෂකයා බව සිහිපත් කළ අමාත්‍යවරයා, මෙම ප්‍රතිසංස්කරණය යටිතල පහසුකම් දියුණු කිරීමටත් වඩා අධිකරණය කෙරෙහි මහජන විශ්වාසය ශක්තිමත් කිරීමේ සංකේතයක් බව අවධාරණය කළේය. නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමට සහ අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීමට පවතින දේශපාලන කැමැත්ත මෙමගින් පිළිබිඹු වන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
උපරිමාධිකරණ සංකීර්ණයේ නවීකරණ කටයුතු අවසන් බවට වන ගිවිසුමට අමාත්‍ය හර්ෂණ නානායක්කාර සහ චීන තානාපතිවරයා මෙහිදී අත්සන් තැබූහ. අනතුරුව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් සංකීර්ණයේ යතුර සංකේතාත්මකව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන වෙත භාර දෙන ලදී.
මෙම අවස්ථාවට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය, නීතිපති පාරින්ද රණසිංහ, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ඇතුළු අධිකරණ ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී විය.