‘දිට්වා’ සුළි කුණාටුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පීඩාවට පත් ජනතාව සඳහා නව නිවාස ඉදිකර දීම, වන්දි ප්‍රදානය සහ නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් හෙට (06) මහනුවරදී සිදු කිරීමට නියමිතය.

ඒ අනුව කුණ්ඩසාලේ, මැදදුම්බර, පාතදුම්බර සහ පන්විල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ආපදාවට ලක්වූ කර්මාන්තකරුවන් සහ නිවාස හානි වූ පවුල් සඳහා වන්දි ප්‍රදානය කිරීමේ උත්සවයක් හෙට පෙරවරුවේ කුණ්ඩසාලේ මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

මෙහිදී සුළි කුණාටුවෙන් ව්‍යාපාර ස්ථාන හෝ යන්ත්‍රෝපකරණවලට හානි වූ කුඩා, මධ්‍යම සහ මහා පරිමාණ සියලු ලියාපදිංචි ව්‍යාපාරිකයන් වෙත යළි නැගී සිටීම සඳහා රුපියල් ලක්ෂ 02 බැගින් වන්දි මුදලක් පිරිනැමීමට නියමිතය. එසේම පූර්ණ නිවාස හානි සිදුවූවන්ට නව නිවසක් ඉදිකර ගැනීම සඳහා ලබා දෙන රුපියල් ලක්ෂ 50ක මුදලින් පළමු වාරිකය ලෙස රුපියල් ලක්ෂ 20ක චෙක්පත් ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු කෙරේ.

මීට අමතරව, පූර්ණ නිවාස හානි වූ සහ නායයෑම් අධි අවදානම් සහිත පවුල් නැවත පදිංචි කිරීම සඳහා ඉඩම් ප්‍රදානය සහ වන්දි ලබා දීම හෙට පස්වරුවේ නියංගොඩ පාසල් ක්‍රීඩා පිටියේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ. අර්ධ නිවාස හානි සඳහා වන්දි පිරිනැමීම සහ නව නිවසක ඉදිකිරීම් ආරම්භ කිරීම ද මෙහිදී සිදු කිරීමට නියමිතය.

මේ අතර මහනුවර නගරයේ යටිතල පහසුකම් සංවර්ධනය කරමින්, මහනුවර – යාපනය මාර්ගයේ (A-009) මහයියාව උමං මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කිරීම සහ අතරමග නවතා දමා තිබූ ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් යළි ඇරඹීම ද හෙට පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙනු ඇත.