සාරධර්මවලින් පිරි ශ්‍රී ලාංකීය ජාතියක් ගොඩනැගීමට පුද්ගලිකවත්, සාමූහිකවත් දායකත්වය මව්බිම වෙනුවෙන් ලබා දිය යුතු කාලය එළඹ ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කරන්නේ, අලුත් නිදහසක් පිළිබඳ බලාපොරොත්තුවෙන් මහජනතාවගේ ආණ්ඩුවක් සමඟ රට අලුත් මඟකට අවතීර්ණ වී සිටින බවයි.

මානුෂීය ගුණාංගවලින් පිරිපුන්, කුසලතා පූර්ණ බුද්ධිමත් අනාගත පරපුරක් උදෙසා දේශය ගොඩනැගීමේ කාර්යය රජය ආරම්භ කර ඇති බව ඇය පෙන්වා දෙයි. සවිමත් ආර්ථික පදනමක් මත රට ස්ථාවර කිරීම, නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම, ජාතිවාදයෙන් හා ආගම්වාදයෙන් තොර සමාජයක් බිහි කිරීම සහ ග්‍රාමීය දුප්පත්කම තුරන් කිරීම රජයේ ප්‍රමුඛ පරමාර්ථ බව ද ඇය අවධාරණය කරයි.

කිසිදු පුරවැසියෙකු මග නොහැරෙන සුබසාධන යාන්ත්‍රණ සැකසීම සහ ආර්ථිකය ඩිජිටල්කරණය කිරීම සඳහා රජය කටයුතු කරමින් සිටින බවත්, නොබැඳි විදෙස් ප්‍රතිපත්තියක් හරහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ සන්නාමගත කිරීමට අවධානය යොමු කර ඇති බවත් පණිවුඩයේ සඳහන් වේ.

පටු දේශපාලන අරමුණු පසෙකලා ජාතියේ උන්නතිය වෙනුවෙන් අත්වැල් බැඳගත යුතු බව පෙන්වා දෙන අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, පුනරුද යුගය සඳහා වන සාමූහික ඇරඹුමට එක්වන ලෙස සමස්ත ජනතාවට ආරාධනා කරයි.