මහජන ආරක්ෂක අමාත්‍යාංශය, ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පොලිසිය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ජාතික වැඩපිළිවෙළක් තුළින් පොදු ප්‍රවාහනයේ සුරක්ෂිත බව තහවුරු කිරීමටත්, මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනයේ යෙදෙන රියදුරන් සහ කොන්දොස්තරවරුන් පරීක්ෂා කිරීමේ වැඩසටහන දීපව්‍යාප්තව සිදු කිරීමටත් අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙන බව ප්‍රවාහන අමාත්‍ය සහ සභානායක බිමල් රත්නායක අවධාරණය කරයි.
ඊයේ (23) පාර්ලිමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, මත්ද්‍රව්‍ය භාවිත කරන රියදුරන් අහඹු ලෙස පරීක්ෂා කිරීමේ නෛතික බලය පොලිසියට ලබා දී ඇති බවයි. කොළඹ බැස්ටියන් මාවතේ ඊයේ ඇරඹි ජංගම රසායනාගාර සේවාව මගින් පරීක්ෂා කළ රියදුරන් 59 දෙනෙකුගෙන් 10 දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බව තහවුරු වී තිබීම බරපතළ තත්ත්වයක් බව ඔහු සඳහන් කළේය. මෙය සමස්ත රියදුරන්ගෙන් හයෙන් එකක් වැනි ඉහළ ප්‍රතිශතයක් බවත්, මගීන් සිය ගණනකගේ ජීවිත අනතුරේ හෙළන මෙම තත්ත්වය වහා පාලනය කළ යුතු බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
මෙහිදී අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ, 2026 වසරේ මුල් දින 22 තුළ පමණක් මත්ද්‍රව්‍ය භාවිත කළ රියදුරන් 480 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. එම කාලය තුළ රිය අනතුරු 135කින් පුද්ගලයන් 65 දෙනෙකු (රියදුරන් 15ක් සහ පදිකයින් 50ක්) ජීවිතක්ෂයට පත්ව ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා රුධිර සහ මුත්‍රා සාම්පල පරීක්ෂාවට අමතරව ඛේට සාම්පල (Saliva Test) පරීක්ෂා කිරීමේ නියමු ව්‍යාපෘතියක් ද ආරම්භ කර ඇති බවත්, අවශ්‍ය වුවහොත් නීති සංශෝධනය කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.