ස්විට්සර්ලන්තයේ ඩාවෝස්-ක්ලෝස්ටර්ස් (Davos-Klosters) හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සමුළුවට (WEF) සහභාගී වී සිටින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ඊයේ (20) ජාත්‍යන්තර ඉහළ පෙළේ නියෝජිතයින් කිහිප දෙනෙකු සමඟ තීරණාත්මක ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වූවාය.

මෙහිදී ජාත්‍යන්තර හවුල්කාරිත්වය පිළිබඳ යුරෝපා සංගමයේ කොමසාරිස්වරයා සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වූ අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ හවුල්කාරිත්වය පුළුල් කිරීම පිළිබඳව දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගත්තාය.

අනතුරුව WEF කොන්ග්‍රස් මධ්‍යස්ථානයේදී ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසාටෝ කන්ඩා (Masato Kanda) හමුවූ අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකාව සහ ආසියානු සංවර්ධන බැංකුව අතර පවතින සබඳතා සහ අනාගත මූල්‍ය සහයෝගීතාව වර්ධනය කර ගැනීම කෙරෙහි අවධානය යොමු කළාය.

එසේම, මෙන්සීස් (Menzies) ගුවන් සේවා සමාගමේ සභාපති හසන් එල් හූරි (Hassan El Houry) සමඟ ද හමුවක් පැවැත්වූ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, ගුවන් සේවා ක්ෂේත්‍රයේ සංවර්ධනය සම්බන්ධයෙන් සාකච්ඡා කළාය. මීට සමගාමීව ඩාවෝස් හි පැවති ගෝලීය සංචාරක සංසදයේ (Global Tourism Forum) ඉහළ පෙළේ සංවාදයකට ද අග්‍රාමාත්‍යවරිය එක් වූවාය.

මෙම අවස්ථාවට කම්කරු අමාත්‍ය සහ මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ද සහභාගී විය.