ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ 2026 අයවැය ප්‍රතිපාදන මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත නව ව්‍යාපෘති සහ 2025 වසරේ ව්‍යාපෘති ප්‍රගතිය සමාලෝචනය කිරීමේ විශේෂ සාකච්ඡාවක්, ඩිජිටල් ආර්ථික අමාත්‍ය සහ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදී මූලික වශයෙන් අවධානය යොමු වූයේ මුදල් නෝට්ටු භාවිතයෙන් තොර ආර්ථිකයක් (Cashless Economy) ගොඩනැගීම සඳහා වන ප්‍රවර්ධන වැඩසටහන් කෙරෙහිය. ඒ අනුව රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය, QR ගනුදෙනු ප්‍රවර්ධනය, ක්ලවුඩ් (Cloud) යටිතල පහසුකම් මධ්‍යස්ථානයක් පිහිටුවීම, ජාතික අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් වැඩසටහන, තනි කවුළු (Single window) පහසුකම්, ඩිජිටල් හැඳුනුම්පත සහ රථවාහන දඩ මුදල් ගෙවීම ඩිජිටල්කරණය (Traffic Spot Fine) වැනි ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
විශේෂයෙන් ග්‍රාමීය ජනතාවගේ ආර්ථික කටයුතු බොහෝමයක් අවිධිමත් ක්ෂේත්‍ර ලෙස පවතින බැවින්, එම කටයුතු ඩිජිටල් තාක්ෂණය ඔස්සේ විධිමත්ව ලේඛනගත කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. අනාගත ආර්ථික සහ සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී මෙම දත්ත අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී අවධාරණය කළේය.
මීට අමතරව ශ්‍රී ලංකා සර්ට් (CERT), දත්ත ආරක්ෂණ අධිකාරිය, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRC) සහ රජයේ ඩිජිටල්කරණ ක්‍රියාවලිය සඳහා පිහිටුවා ඇති GovTech ආයතනයේ ක්‍රියාකාරීත්වය සහ නව බඳවා ගැනීම් සම්බන්ධයෙන් ද මෙහිදී සමාලෝචනය කරන ලදී.
