වත්මන් රජයේ කටයුතු සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා මල්වතු මහා විහාර පාර්ශවයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් බැහැදැකීමට ගිය සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී චමින්ද්‍රානි කිරිඇල්ලට, මහා නාහිමියන් විසින් විපක්ෂයේ කාර්යභාරය සහ රටේ සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳව කරුණු පැහැදිලි කර දී තිබේ.

ඊයේ (18) මෙම හමුව සිදුවූ අතර, එහිදී මහා නාහිමියන් පෙන්වා දී ඇත්තේ මෙතෙක් බලයේ සිටි ආණ්ඩු රටේ ජාතික අවශ්‍යතා සහ ප්‍රමුඛතා හඳුනාගෙන කටයුතු නොකළ බවයි. ඒ වෙනුවට සංවර්ධනයේ නාමයෙන් ණය ලබා දෙන ජාත්‍යන්තර ආයතනවලට අවශ්‍ය ඉදිකිරීම් සිදු කිරීමට පසුගිය රජයන් කටයුතු කළ බව උන්වහන්සේ සිහිපත් කළහ.

එසේම, ආණ්ඩු පක්ෂය ගෙන එන සෑම යෝජනාවකටම විරුද්ධ වීම විපක්ෂයේ ප්‍රධාන කාර්යභාරය නොවන බව ද මහා නාහිමියන් එහිදී මන්ත්‍රීවරියට අවධාරණය කර ඇත. සාම්ප්‍රදායික තට්ටු මාරු දේශපාලන සංස්කෘතියෙන් බැහැරව, රට ගොඩනැගීමේ අඛණ්ඩ සහ සැලසුම් සහගත ක්‍රියාවලියක් පවත්වාගෙන යාමේ දැඩි අවශ්‍යතාව උන්වහන්සේ එහිදී වැඩිදුරටත් පෙන්වා දී තිබේ.