විරෝධතා මැද වුවත් ළමා ආරක්ෂණ රාමුවක් තුළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරනවා – අග්‍රාමාත්‍යවරිය
වත්මන් රජය බලයට පත්වන විටම අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් සිදු කිරීම මූලික ඉලක්කයක් වූ බවත්, සමාජීය පරිවර්තනයකදී සුළුතර පිරිසකගෙන් විරෝධතා මතුවුව ද, ළමා ආරක්ෂණ ප්‍රතිපත්ති රාමුවක් තුළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කළාය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව දැනුවත් කිරීම සඳහා හලාවත අධ්‍යාපන කලාපයේ නිලධාරීන් සහ විදුහල්පතිවරුන් සමඟ ඊයේ (16) මාදම්පේ සෙඩෙක් (SEDEC) ආයතනයේ පැවති හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ, නව අධ්‍යාපන ක්‍රමවේදය තුළ දරුවාට තාක්ෂණය හඳුන්වා දීම ළමා ආරක්ෂණ ප්‍රතිපත්ති සුරැකෙන පරිදි විධිමත් රාමුවක් තුළ සිදු විය යුතු බවයි. ප්‍රතිසංස්කරණ ව්‍යාකූල කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කළ ද, පුත්තලම දිස්ත්‍රික්කයේ අධ්‍යාපන බලධාරීන්ගේ සංවිධානාත්මක කැපවීම එම බාධාවන් අභිබවා යාමට තරම් ශක්තිමත් බව ඇය පැවසුවාය.
වෘත්තීය අධ්‍යාපනය වෙනුවෙන් ඉතිහාසයේ වැඩිම අයවැය ප්‍රතිපාදන වෙන්කර ඇත්තේ මෙම ප්‍රතිසංස්කරණ හරහා බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, පාසල් අතර පවතින ඩිජිටල් අසමානතාව සහ යටිතල පහසුකම් ගැටලු විසඳීමට ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වන බව ද සඳහන් කළාය. විශේෂයෙන් 6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තාවකාලිකව අත්හිටුවීම හේතුවෙන් අගතියට පත් සිසුන්ට කඩිනමින් සාධාරණය ඉටු කිරීමට රජය කටයුතු කරන බව ද ඇය සහතික විය.
මෙම අවස්ථාවට වයඹ පළාත් අධ්‍යාපන ලේකම් බී.එම්.සී.කේ. වන්නිනායක, රාජ්‍ය පරිපාලන හා පළාත් සභා අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබේරත්න, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි ඇතුළු පිරිසක් එක්ව සිටියහ.




