දරුවන්ට සමානාත්මතාවයෙන් යුත් අධ්‍යාපනයක් ලබා දීමට උත්සාහ කරන රාජ්‍යයන් දෙකක් ලෙස චීනය සහ ශ්‍රී ලංකාව හැඳින්විය හැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

චීන රජයේ පූර්ණ ප්‍රදානයක් ලෙස පාසල් නිල ඇඳුම් රෙදි තොගය භාර ගැනීමේ උත්සවයට ඊයේ (13) සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. මහජන චීන සමූහාණ්ඩුව විසින් පූර්ණ පරිත්‍යාගයක් ලෙස ලබා දෙන රෙදි මීටර් මිලියන 11.484ක තොගය නිල වශයෙන් අධ්‍යාපන අමාත්‍යවරිය වෙත භාර දීම ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන්හොන් (Qi Zhenhong) විසින් සිදු කරන ලදී.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අවධාරණය කළේ, මෙරට මුහුණ දෙන සෑම අසීරු අවස්ථාවකදීම චීන රජය ධෛර්යය ලබා දෙන බවත්, වසර කිහිපයක් පුරා නොකඩවා නිල ඇඳුම් ලබා දීම තුළින් දෙරට අතර පවතින අන්‍යෝන්‍ය ගරුත්වය සහ විශ්වාසය තහවුරු වන බවත්ය. අධ්‍යාපනය මූලික කරගත් මෙම සහයෝගීතාව ඉදිරියේදී දෙරටේ මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරනු ඇති බව ඇය විශ්වාසය පළ කළාය.

මෙවර සිසුන් 4,418,404 දෙනෙකු නිල ඇඳුම් සඳහා හිමිකම් කියන අතර, රජයේ පාසල්, රජයේ ආධාර ලබන පාසල් සහ පිරිවෙන් සිසුන් සඳහා මෙම රෙදි බෙදා දීමට නියමිතය. අදාළ රෙදි තොගය නැව් වාර 05කින් ලැබීමට නියමිත අතර, මේ වන විට නැව් 03ක් කොළඹ වරායට ළඟා වී තිබේ. එළඹෙන 19 වැනිදා සිට කොට්ඨාස අධ්‍යාපන කාර්යාල වෙත රෙදි බෙදා හැරීම ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

මෙහිදී අදහස් දැක්වූ චීන තානාපති චී ජෙන්හොන් සඳහන් කළේ, විවිධ බාධක මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය දියුණු කිරීම උදෙසා හැකි සෑම උපකාරයක්ම කිරීමට චීන රජය කැපවී සිටින බවයි.