අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉලක්ක කර ගනිමින් නින්දිත ප්‍රචාර ගෙන යන පිරිස් අතර මිහින්තලේ හිමියන් වැනි ‘වනචාරී’ මට්ටමේ පුද්ගලයන් සිටින බවත්, ආගමික සංස්ථාවල බහුලව සිටින පිරිමි පාර්ශවය එල්ල කරන විවේචන තුළ ඇත්තේ ‘ලිංගික කුහකත්වයක්’ බවත් කෘෂිකර්ම, ඉඩම් සහ පශු සම්පත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත දැඩිව ප්‍රකාශ කරයි.
කුරුණෑගල පැවති ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලීය ආදි ශිෂ්‍ය මහා සංගමයේ වාර්ෂික සම්මේලනය අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, මිහින්තලේ වැඩවසන හිමියන්ගේ කතා විලාසය සහ හැසිරීම තුළින් උන්වහන්සේගේ අධ්‍යාපන මට්ටම පැහැදිලි වන බවයි. අග්‍රාමාත්‍යවරියට අසභ්‍ය වචනයෙන් බැන වදින මෙම පිරිස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දෙස බලන්නේ ද එවැනිම පහත් කෝණයකින් බව ලාල්කාන්ත මෙහිදී චෝදනා කළේය.
විධායක ජනාධිපතිවරයෙකු යටතේ මෙතෙක් පත්වූ සක්‍රීයම අගමැතිවරිය ආචාර්ය හරිනි අමරසූරිය බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඇයගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට වඩා විවේචකයින්ගේ ඉලක්කය වී ඇත්තේ ඇයගේ පෞද්ගලික ජීවිතය සහ රුචි අරුචිකම් බව සඳහන් කළේය.
විශේෂයෙන් ආගමික සංස්ථාවල සිටින ඇතැම් පිරිස් තමන් විසින්ම පවරා ගත් ආගමික ශික්ෂා පද සහ පොරොන්දු හේතුවෙන් යම් පීඩනයකින් පෙළෙන බවත්, ඔවුන් කාන්තාවක් සම්බන්ධයෙන් සිදුකරන විවේචන තුළ ගැබ්ව ඇත්තේ එම ‘ලිංගික කුහකත්වය’ සහ ‘පෞද්ගලික අසහනය’ (Arrears) බවත් අමාත්‍යවරයා තවදුරටත් විග්‍රහ කළේය.