අල සහ ලූනු ආනයනය කර බෙදා හැරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන මුවාවෙන් ඩුබායි සිට නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටි 06ක් පමණ වටිනා විදේශීය දුම්වැටි තොගයක් සමඟ වත්තල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු සහ තවත් අයෙකු අත්අඩංගුවට ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ කුරුණෑගල කාර්යාලය සමත් විය.

අත්අඩංගුවට ගත් ප්‍රා‍දේශීය සභා මන්ත්‍රීවරයා වත්තල, ඇලකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කුරුණෑගලින් බැහැර ප්‍රදේශයක මෙම ජාවාරම ක්‍රියාත්මක වන බවට ලැබුණු තොරතුරක් මත, සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. ප්‍රේමරත්නගේ විශේෂ අවසරය මත මෙම වැටලීම සිදු කර තිබේ. එහිදී ගැණුම්කරුවකු ලෙස උපාය දූතයකු යොදවා දුම්වැටි බණ්ඩල 500ක් මිලදී ගැනීමට නිලධාරීන් කටයුතු කර ඇති අතර, අනතුරුව කැලණිය ප්‍රදේශයේ නිවසක් වටලා සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රධාන සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු මත මුල්ලේරියාව පොලිස් වසමේ කැලණිමුල්ල ප්‍රදේශයේ පිහිටි ගබඩාවක් පරීක්ෂා කර ඇති අතර, එහි තිබී දුම්වැටි 200 බැගින් අඩංගු තවත් බණ්ඩල 1,500ක් සොයාගෙන තිබේ. ඒ අනුව මුළු කාටුන් 2,000ක පමණ තොගයක් නිලධාරීන් භාරයට ගෙන ඇත.

සැකකරුවන් දෙදෙනා කැලණිය සහ වත්තල ප්‍රදේශයේ පදිංචි ධනවත් ව්‍යාපාරිකයන් බවත්, දීර්ඝ කාලයක සිට අල, ලූනූ, පාවහන් සහ රෙදිපිළි ආනයනය කරන මුවාවෙන් මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. දුම්වැටි ප්‍රවාහනයට යොදා ගත් ජීප් රථයක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර ඇත.