පාතාලය නිර්මාණය කළේ කවුරුන් වුවද, වත්මන් ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ එය සියයට සියයක්ම අවසන් කිරීමට රජය කැපවී සිටින බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර අවධාරණය කරයි.

අද (02) පෙරවරුවේ බන්ධනාගාර දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවති 2026 වසරේ බන්ධනාගාර මාණ්ඩලික නිලධාරීන්ගේ හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ධාරිතාව සහ පහසුකම් වර්ධනය කිරීම වෙනුවෙන් රජය මඟින් රුපියල් මිලියන 913.60ක් වටිනා වෑන් රථ 10ක් සහ ට්‍රැක්ටර් 03ක් ද, රුපියල් මිලියන 104.30ක් වටිනා ලැප්ටොප් සහ පරිගණක ද සංකේතාත්මකව භාර දෙන ලදී. ඉදිරියේදී තවත් බස් රථ 40ක් සහ ගලි බවුසර් 05ක් ලබා දීමට නියමිත බව ද මෙහිදී අනාවරණය විය.

බන්ධනාගාර නිලධාරීන් අමතමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, පසුගිය 2025 වසරේ ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටුව වැනි අර්බුද හමුවේ රාජ්‍ය නිලධාරීන්ගේ කැපවීම අගය කළ යුතු බවයි. බන්ධනාගාර පද්ධතියේ පවතින තදබදය විසඳීම සඳහා රස පරීක්ෂක වාර්තා මාස තුනක් තුළ ලබා ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කරන බවත්, ප්‍රජා විශෝධන ක්‍රියාවලිය පුළුල් කිරීම සඳහා නව පනතක් ගෙන එන බවත් අමාත්‍යවරයා පැවසීය.

පාතාල ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමේදී බන්ධනාගාර නිලධාරීන්ට එල්ල වන තර්ජන පිළිබඳව රජය අවබෝධයෙන් පසුවන බවත්, නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය නිරන්තරයෙන් පෙනී සිටින බවත් හර්ෂණ නානායක්කාර මෙහිදී වැඩිදුරටත් සහතික විය.

මෙම අවස්ථාවට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු එක්ව සිටියහ