ගාල්ල මහ නගර සභාවේ අද (30) පැවති විශේෂ මහා සභා රැස්වීම අතරතුර දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හට ගත්තේය. නගරාධිපතිවරයා සභාව ආරම්භ කිරීමත් සමඟම විපක්ෂ මන්ත්‍රීවරුන් සභා ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට එරෙහිව විරෝධය පළ කිරීම මෙම ගැටුමට මුල් විය.

මෙහිදී “හොරා හොරා අපේ ඡන්ද මංකොල්ල කෑවා” යැයි පවසමින් විපක්ෂ මන්ත්‍රීවරුන් සභාව මැද ඝෝෂා කර තිබේ. විරෝධතා මධ්‍යයේ වුවද නගරාධිපතිවරයා න්‍යාය පත්‍රයට අනුකූලව සභාවේ කටයුතු ඉදිරියට ගෙන ගිය අතර, කාරක සභා අවස්ථාවට එළැඹෙන බව නිවේදනය කිරීමත් සමඟ තත්ත්වය වඩාත් උත්සන්න විය.

එහිදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් වතුර බෝතල්වලින් දමා ගසමින් ජල ප්‍රහාරයක් එල්ල කිරීමට පියවර ගත්හ. මෙම කලහකාරී තත්ත්වය පාලනය කිරීමට නොහැකි වීම හේතුවෙන් සභාව පැය භාගයකට කල් තබා සභා ගැබෙන් ඉවත්ව යාමට නගරාධිපතිවරයාට සිදුවිය