රටක් ලෙස ඉදිරියට යා හැක්කේ එකිනෙකා දෙස සැකයෙන් සහ අවිශ්වාසයෙන් බැලීමෙන් නොව, කිසිදු අභියෝගයක් හමුවේ නොසැලී, තිර අදිටනින් සහ එකම අරමුණකින් යුතුව සියලු දෙනා තම වගකීම් ඉටු කිරීමෙන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය.

දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරීන් අධිකාරියට පත් කිරීමේ සහ විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස අද (21) පෙරවරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ රජය, ආගමික සංස්ථාවන්, ජනතාව සහ ආරක්ෂක හමුදාවන් තමන්ට පැවරී ඇති වගකීම් නිසි පරිදි ඉටු කිරීම තුළින් ඉතිහාසයේ පැවති අභිමානය සහ ගෞරවය සහිත මාතෘ භූමිය යළි ඉක්මනින් නිර්මාණය කරගත හැකි බවයි.

පසුගිය දශක කිහිපය තුළ රට සියලු ආකාරයේ බිඳ වැටීම්වලට ලක්වූ බව සිහිපත් කළ ජනාධිපතිවරයා, දේශපාලනය යනු මහජනතාවගේ ධනය එක්රැස් කරගන්නා වෘත්තියක සිට මහජනතාවට සේවය කරන වෘත්තියක් බවට පරිවර්තනය කිරීමේ වගකීම වත්මන් රජය ඉටු කරමින් සිටින බව ප්‍රකාශ කළේය. ආර්ථිකය ගොඩනැගීම, ඊට අදාළ යාන්ත්‍රණය සකස් කිරීම සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම රජයේ ප්‍රමුඛ කාර්යභාරයක් බව ද ඔහු අවධාරණය කළේය.

දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ 100 වැනි විසිර යාමේ පෙළපාලිය මෙය වන අතර, කෙඩෙට් නිලධාරීන් සහ නිලධාරිනියන් 240 දෙනෙකු මෙහිදී අධිකාරියට පත් කෙරිණි. ඊට විදෙස් කෙඩෙට් නිලධාරීන් 08 දෙනෙකු ද ඇතුළත් විය.

මෑතකදී ඇති වූ සුළි කුණාටු ව්‍යසනයේදී ජනතාව මුදා ගැනීම සහ පහසුකම් සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ඉටු කළ විශිෂ්ට කාර්යභාරය ද මෙහිදී ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක්විය.

මෙම අවස්ථාවට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයිකොන්තා, යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ඇතුළු ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් සහ සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.