ආපදා තත්ත්වය හේතුවෙන් විනාශ වී ගිය මහාමාර්ග, වාරිමාර්ග ඇතුළු යටිතල පහසුකම් නැවත ගොඩනැඟීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඒකාබද්ධ කරගත් මධ්‍ය කාලීන හා දිගුකාලීන අරමුදලක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ පෞද්ගලික අංශයේ ආයෝජකයන් සමඟ ඊයේ (30) රාත්‍රියේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි. මෙම අරමුදල කළමනාකරණය කිරීම සඳහා කැබිනට් අනුමැතිය සහිතව රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ නියෝජිතයින්ගෙන් සමන්විත ඒකාබද්ධ කළමනාකරණ කමිටුවක් පත් කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

ගංවතුර සහ නායයාම් හේතුවෙන් මතුපිටින් පෙනෙන තත්ත්වයට වඩා විශාල විනාශයක් රටට සිදුව ඇති බවත්, හුදෙක් භාණ්ඩාගාර මුදල්වලින් පමණක් මෙම ව්‍යසනයට මුහුණ දිය නොහැකි බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ඒ අනුව දේශීය දායකත්වයන්, විදේශගත ශ්‍රී ලාංකිකයන්, විදෙස් රටවල ආධාර, ජාත්‍යන්තර සංවිධාන සහ ව්‍යාපාරික සංගම් හරහා මෙම අරමුදල් සම්පාදනය කර ගැනීමට සැලසුම් කර තිබේ.

ආපදාවෙන් විනාශ වූ නිවාස, පාසල්, ගොඩනැගිලි, මාර්ග සහ පාලම් යළි ඉදිකිරීමේදී සිදුව ඇති හානිය නිවැරදිව තක්සේරු කිරීම සඳහා රජය ලෝක බැංකුව සමඟ සාකච්ඡා කර ඇත. ඒ අනුව ‘Global Rapid post-disaster Damage Estimation (GRADE)’ වාර්තාව සති දෙකක් ඇතුළත ලබා ගැනීමට නියමිතය.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන විජිත හේරත්, අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙන්ම හේලිස්, ජොන් කීල්ස්, එයිට්කන් ස්පෙන්ස් සහ බ්‍රැන්ඩෙක්ස් යන ව්‍යාපාරික සමූහයන්හි ප්‍රධානීන් ද එක්ව සිටියහ.