ගම සහ පන්සල අතර පවතින ඓතිහාසික ආධ්‍යාත්මික සබඳතාව යළි ගොඩනැගිය යුතු බවත්, පිරිහී ගිය සමාජය යළි යථාවත් කිරීම සඳහා භික්ෂූන් වහන්සේලාගේ උරුමය සහ කාර්යභාරය නැවතත් අත්‍යවශ්‍ය වී ඇති බවත් ජනාධිපති අනුර දිසානායක පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට වසර 150ක් පිරීම නිමිත්තෙන් අද (02) පැවති ‘යෙළසිය අබිමන්’ සැමරුම් උළෙලට එක්වෙමිනි.
මෙහිදී ජනාධිපති අතින් පිරිවෙනේ නව වෙබ් අඩවිය විවෘත කෙරුණු අතර, ‘යෙළසිය අබිමන්’ ශාස්ත්‍රීය සංග්‍රහයද ජනාධිපති වෙත පිළිගැන්විණි. එමෙන්ම, මහා නායක හිමිවරුන් කිහිප නමකට සහ ගිහි ප්‍රභූන් කිහිප දෙනෙකුට ගෞරව උපාධි පිරිනැමීමද මෙහිදී සිදු විය.
උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා, විද්‍යාලංකාර පිරිවෙන මෙරට නූතන අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ඉටුකළ මෙහෙය සිහිපත් කළේය. භික්ෂූන් වහන්සේලාගේ සමාජ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් 1946දී විද්‍යාලංකාර පිරිවෙන විසින් නිකුත් කළ “භික්ෂූන් සහ දේශපාලනය” නැමැති ඓතිහාසික ප්‍රකාශය උපුටා දක්වමින්, රටේ සහ ජනතාවගේ යහපත උදෙසා මැදිහත් වීම භික්ෂූන්ට සුදුසු බවට එහි සඳහන් වූ බව පෙන්වා දුන්නේය.
වසර 20ක් පුරා ඉදිකිරීම් අවසන් කිරීමට නොහැකි වූ පිරිවෙනේ ගොඩනැගිල්ලක් පිළිබඳවද අදහස් දැක්වූ ජනාධිපතිවරයා, එය රාජ්‍ය යාන්ත්‍රණයේ පවතින අකාර්යක්ෂමතාව සහ ව්‍යාකූලත්වය මනාවට පිළිඹිබු කරන්නක් බව විවේචනය කළේය. එම ගොඩනැගිල්ලේ තඹ කම්බි පවා සොරකම් කිරීමට තරම් සමාජය පිරිහීමට ප්‍රධාන හේතුව මත්ද්‍රව්‍ය උවදුර බවද ඔහු සඳහන් කළේය.
“මේ මත්ද්‍රව්‍යයට එරෙහිව ගෙන යන සටන අප අවසන් කරනවා. මේ ව්‍යසනය නතර කිරීමට සියලු දෙනාම එක් විය යුතුයි. රටට ඇතිවූ සෑම අනතුරකදීම භික්ෂූන් වහන්සේලා ඉදිරියට ආවා. රට යළි යථාවත් කිරීමට එවැනි භික්ෂූන් වහන්සේලාගේ මැදිහත් වීම අවශ්‍යයි. ඒ මැදිහත් වීම සිදු කරන ලෙසට ඔබ වහන්සේලාට මා ආරාධනා කර සිටිනවා,” යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.