ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ශීඝ්‍ර වර්ධනයක් ඇති කිරීමේ අරමුණින්, දැනට පවතින සංචාරක පනත සංශෝධනය කිරීමටත්, ඒකාබද්ධ ව්‍යුහයක් යටතේ කටයුතු කිරීමට “ජාතික සංචාරක කොමිසමක්” පිහිටුවීමටත් රජය පියවර ගන්නා බව විදේශ කටයුතු හා සංචාරක අමාත්‍ය විජිත හේරත් කියා සිටියි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, සංචාරක කර්මාන්තය නගා සිටුවීම සඳහා රජය සතුව දිගුකාලීන සැලැස්මක් සහ ඉලක්කයක් පවතින බව අවධාරණය කරමිනි.
නව ජාතික සංචාරක කොමිසම හරහා දිස්ත්‍රික් සහ සංචාරක කලාප මට්ටමින් ඒකාබද්ධ කමිටු පිහිටුවා, ක්ෂේත්‍රයේ සියලු පාර්ශ්ව සම්බන්ධීකරණය කිරීමට අපේක්ෂා කරන බවත්, ඒ සඳහා නව නීති හඳුන්වා දෙන බවත් ඔහු පැවසීය. දැනට පවතින නීති ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙම පනත් සංශෝධනය සිදුකරන අතර, එම කටයුත්ත විශේෂඥ කණ්ඩායමකට භාරදී ඇති බවද විජිත හේරත් සඳහන් කළේය.
මේ අතර, ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය යළි ප්‍රකෘතිමත් වෙමින් පවතින බවට සංඛ්‍යාලේඛන සාක්ෂි දරයි. 2025 ජනවාරි 01 සිට ඔක්තෝබර් 29 වනදා දක්වා කාලය තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 18 ඉක්මවා තිබේ. ඔක්තෝබර් මාසය තුළ පමණක් සංචාරකයින් 153,063 දෙනෙකු මෙරටට පැමිණ ඇත.
යුරෝපයේ ශීත ඍතුව ආරම්භ වීමත් සමග, පෝලන්තයේ ”එන්ටර් එයාර්” ගුවන් සේවයට අයත් ගුවන් යානා දෙකක්, සංචාරකයින් 378 දෙනෙකු රැගෙන ඊයේ (29) කටුනායක ගුවන්තොටුපළ වෙත ළඟා විය. කටෝවිස් සහ වෝර්සෝ නගරවල සිට පැමිණි මෙම ගුවන් යානා, ජල ආචාර මධ්‍යයේ පිළිගනු ලැබීය.