නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ නිර්මාණශීලී ගුරුවරුන්ට විශේෂ අවස්ථා හිමිවන බවත්, ශ්‍රී ලංකාවේ ගුරුවරුන් සඳහා අවශ්‍ය පුහුණුව ලබාදීමට ඉන්දියාව සහාය පළ කර ඇති බවත් අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ, ඉන්දීය රජයේ පරිත්‍යාගයක් ලෙස පොළොන්නරුව, ගල්ලෑල්ල ප්‍රදේශයේ ඉදිකළ බහු වාර්ගික ත්‍රෛභාෂා ගොඩනැගිල්ල නිල වශයෙන් භාර ගැනීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.
මෙහිදී අදහස් දැක්වූ හරිනි අමරසූරිය, “අපේ රට විවිධ ආගම්, භාෂා සහ ජන වර්ගවලට අයත් පුද්ගලයන් එකමුතුව ජීවත් වන රටක්. ඉතිහාසයේ පළමු වතාවට, විවිධත්වය ආරක්ෂා කර ගනිමින් ශ්‍රී ලාංකිකයන් ලෙස ජාතික ඉලක්කයක් කරා පොදු සංස්කෘතික ගමනක් යාමට හැකිවීම සතුටට කරුණක්,” යැයි පැවසුවාය.
ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳවද අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, සියලු දරුවන්ට වෙනසකින් තොරව ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම ප්‍රධාන අරමුණ බව අවධාරණය කළාය. “විෂය මාලාව අලුත් කිරීම පමණක් නොව, අධ්‍යාපනයේ නව පරිවර්තනීය මගක් නිර්මාණය කිරීම අපේ අරමුණයි. අනාගත වැඩ ලෝකයට සුදුසු, සමාජ වගකීමක් ඇති පරපුරක් බිහි කිරීමට අපි කටයුතු කරනවා,” යනුවෙන් ඇය කියා සිටියාය.
ඒ සඳහා පාසල්වල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, ගුරු හිඟය පියවීම සහ ඩිජිටල් අධ්‍යාපනයට දරුවන් සූදානම් කිරීම වැනි වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද, අධ්‍යාපන පරිපාලන නිලධාරීන් පුහුණු කිරීමට ඉන්දීය රජයේ සහාය ලබාගන්නා බවද ඇය හෙළි කළාය.
මෙම අවස්ථාවට ඉන්දීය මහකොමසාරිස් සන්තොෂ් ජා, නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.