විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්ද අයිතිය ලබා දීමටත්, ඔවුන් සඳහා දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමටත් අවශ්‍ය නීතිමය කටයුතු මේ වන විට සකස් කරමින් පවතින බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 40 වන සංවත්සරය නිමිත්තෙන් අද (27) පැවති උත්සව අවස්ථාවට එක්වෙමිනි.
විදෙස්ගත ඡන්ද අයිතිය තහවුරු කිරීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයද මැදිහත් වී විශේෂ කමිටුවක් පත්කර ඇති බවත්, ඊට අවශ්‍ය නෛතික රාමුව සහ පහසුකම් සලසා දීමට රජය කටයුතු කරන බවත් ඔහු පැවසීය.
දේශපාලන අධිකාරිය මුදල් ලබාගෙන රැකියා සඳහා විදෙස් ගත කිරීමේ දූෂිත සංස්කෘතිය වත්මන් ආණ්ඩුව විසින් සම්පූර්ණයෙන්ම වෙනස් කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. “ඉතිහාසයේ ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු, ඔවුන්ගේ ලේකම්වරු රට යන අයගෙන් සල්ලි අරගෙන වංචා කරලා තියෙනවා. අද ඒ තත්ත්වය නැහැ. කිසිවෙකුට රට යන්න කියා මුදල් ගෙවන්න එපා,” යැයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
ඊශ්‍රායල් රැකියා සඳහා තෝරාගැනීමේ ක්‍රියාවලිය විදේශ සේවා නියුක්ති කාර්යාංශය පමණක් නොව, ‘PIBA’ නැමැති ආයතනයක් මගින්ද අධීක්ෂණය කරන බැවින්, දේශපාලනඥයින්ට තම හිතවතුන්ගේ නම් ඇතුළත් කිරීමට කිසිසේත්ම නොහැකි බවද ඔහු පෙන්වා දුන්නේය.
විදේශ රැකියා ක්ෂේත්‍රයේ නවීකරණයට සහ තීන්දු තීරණ ගැනීමට පවතින විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත බාධාවක් වී ඇති බව පිළිගත් අමාත්‍යවරයා, එයට පිළියමක් ලෙස නව පනතක් හඳුන්වා දීමට කටයුතු කරමින් සිටින බවද හෙළි කළේය.