රටේ බිඳ වැටුණු ආර්ථිකය යළි ගොඩනැගීමේ අභියෝගය සේම, සියලු අතින් පිරිහී ගිය සමාජය යළි සුවපත් කිරීමේ වගකීමද වත්මන් රජය භාරගෙන ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ඔහු අවධාරණය කළේ, මත්ද්‍රව්‍ය ජාවාරම සහ අවි බලය මගින් සමාජය දැවැන්ත විනාශයකට ඇද දැමූ “කළු පාලනය” අවසන් කිරීමට රජය තැබූ පියවර කිසිසේත්ම ආපසු හැරවීමට ඉඩ නොදෙන බවයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, අස්ගිරි පාර්ශ්වයේ නව අනුනායක ධුරයට පත් නාරම්පනාවේ ආනන්ද නාහිමියන් වෙත ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීමේ පූජෝත්සවයට අද (03) පස්වරුවේ මහනුවර ඓතිහාසික මඟුල් මඬුවේදී එක්වෙමිනි.
මෙහිදී ජනාධිපතිවරයා අතින් අභිනව අනුනාහිමියන් වෙත ශ්‍රී සන්නස් පත්‍රය ප්‍රදානය කෙරිණි.
උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා, සමාජ පුනරුදයක් ඇති කිරීමේදී මහා සංඝරත්නයට පැවරී ඇති විශාල කාර්යභාරය පෙන්වා දුන්නේය. අතීතයේදී රාජ්‍යය අභියෝගයට ලක් වූ සෑම අවස්ථාවකම ඒ වෙනුවෙන් පෙරට පැමිණියේ මහා සංඝරත්නය බවද ඔහු සිහිපත් කළේය.
අභිනව අනුනාහිමියන්ගේ ජාතික, ආගමික සහ සමාජයීය සේවාව අගය කළ ජනාධිපතිවරයා, වත්මන් යුගයට උන්වහන්සේ වැනි යතිවරයාණන් වහන්සේලා දහස් ගණනක් අවශ්‍ය බවද පැවසීය. මත්ද්‍රව්‍ය ව්‍යසනය රටින් තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරයේදී, ගම්දනව් සිසාරා වැඩම කරමින් ජනතාව අවදි කිරීමට මහා සංඝරත්නයට විශාල කාර්යභාරයක් ඉටුකළ හැකි බවද ඔහු සඳහන් කළේය.
සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය පැහැදිලි කළ ජනාධිපතිවරයා, රටට අහිතකර කිසිවක් සිදු නොකරන බවටත්, මෙරට ඓතිහාසික උරුමය, සොබා සෞන්දර්යය සහ ජනතාවගේ ආගන්තුක සත්කාරය වැනි සාධක මත පදනම්ව සංචාරක කර්මාන්තය ගොඩනැගීම ඉලක්කය බවටත් සහතික විය.