වත්මන් ආණ්ඩුව, සිංහල, දෙමළ, මුස්ලිම් යන සියලු ජාතීන්ටත්, උතුර-දකුණ භේදයකින් තොරවත් එකසේ සාධාරණව සලකන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ සභානායක බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය.

ඔහු මේ බව පැවසුවේ, යාපනය, කයිට්ස්හි කුරිකඩ්ඩුවාන් ජැටියේ ප්‍රවේශ මාර්ගය සංවර්ධනය කිරීමේ කටයුතු පසුගිය 04 වනදා නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

‘පුනරුදයට මඟ’ ජාතික වැඩසටහන යටතේ, රුපියල් මිලියන 299ක රජයේ ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය, මාස නවයක් තුළ අවසන් කර 2026 ජූලි මස 03 වන දින ජනතා අයිතියට පත්කිරීමට නියමිතය.

“උතුරේ ආණ්ඩු, කොළඹ ආණ්ඩු කියා එදා දේශපාලනඥයින් ජනතාවට සමානව සැලකුවේ නැහැ. නමුත් වත්මන් ආණ්ඩුව සියලු පුරවැසියන්ට සාධාරණව සලකනවා,” යැයි අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. දස දහස් ගණනක් බැතිමතුන් නාගදීපයට සහ කෝවිල් වන්දනාවට පැමිණෙන මෙම මාර්ගය සංවර්ධනය කිරීම තුළින්, ප්‍රදේශයේ ජනතාවට, රාජ්‍ය නිලධාරීන්ට සහ සංචාරකයින්ට විශාල පහසුවක් සැලසෙන බව ඔහු පෙන්වා දුන්නේය.

මෙම සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව තවත් සංවර්ධන කටයුතු රැසක් පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී නිවේදනය කළේය. ඒ අනුව, රුපියල් මිලියන 800ක් වැයකර කුරිකඩ්ඩුවාන් ජැටිය නවීකරණය කිරීම, ඉතිරි මාර්ග කොටස සංවර්ධනය කිරීම සහ නව රථගාලක් ඉදිකිරීමට නියමිතය.

මීට අමතරව, ඩෙල්ෆ්ට් දූපතේ ජනතාව මුහුණදෙන ප්‍රධාන ගැටලුවකට විසඳුමක් ලෙස, ඉතිහාසයේ පළමු වරට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ නාවික හමුදාවේ සහයෝගයෙන් ඩෙල්ෆ්ට් දූපතේ ඉන්ධන පිරවුම්හලක් ස්ථාපිත කිරීමටද එකඟතාවකට පැමිණි බව අමාත්‍යවරයා හෙළි කළේය.

“ජාතිවාදය පිටුදකින, අදූෂිත පාලනයක් ගෙන යන ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් යුතු රජයට සියලු දෙනාගේම සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා,” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.