2025 නොවැම්බර් 30 වන දින සිට, ටිකට්පත් නිකුත් කිරීමේ යන්ත්‍ර සහිත බස් රථවල, මගීන්ට තම බැංකු කාඩ්පත් භාවිතයෙන් බස් ගාස්තු ගෙවීමේ පහසුකම හඳුන්වා දෙන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

බස් ටිකට්පත් මගින් ‘මාටියා ගැසීම’ බස් කර්මාන්තය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් බවත්, එමගින් බස් හිමියන්ට නිසි ආදායමක් නොලැබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. පුද්ගලික බස් හිමියන්ගේ සංගම් විසින් දීර්ඝ කාලයක සිට කළ ඉල්ලීමකට අනුව මෙම පියවර ගන්නා බවද ඔහු සඳහන් කළේය.

වෙනම ‘ප්‍රවාහන කාඩ්පතක්’ හඳුන්වා දීම කරදරකාරී සහ යල් පැන ගිය ක්‍රමයක් බව පැවසූ අමාත්‍යවරයා, ඒ වෙනුවට මගීන් සතුව දැනටමත් පවතින ඕනෑම බැංකු කාඩ්පතක් භාවිත කර ගනුදෙනු කළ හැකි සරල ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව අවධාරණය කළේය.

“අපි බලාපොරොත්තු වෙනවා නොවැම්බර් 30 වෙනකොට, ලංකාවේ දැනට බස් ටිකට් යන්ත්‍ර තියෙන බස් එකකදී, ඕනෑම මගියෙකුට තමන්ගේ බැංකු කාඩ්පත භාවිත කරලා ටිකට් එක ගන්න පුළුවන් වෙයි,” යනුවෙන් අමාත්‍යවරයා පැවසීය.