වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් පසුගිය යහපාලන රජය මෙන්ම වත්මන් ආණ්ඩුවද දේශපාලන වාසි තකා අසත්‍ය සාක්ෂි නිර්මාණය කරමින් මහජන මතය නොමග යවන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා චෝදනා කරයි.

කොළඹදී අද (01) මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා, මෙම සිදුවීම සම්බන්ධයෙන් සාධාරණ, අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු නොකළහොත්, එය තාජුඩීන්ගේ ආත්මයට සිදුකරන විශාල අසාධාරණයක් බව අවධාරණය කළේය.

“2015 සිට යහපාලන ආණ්ඩුව සහ වත්මන් ආණ්ඩුව රාජපක්ෂවරුන් ඉලක්ක කරගෙන අභූත චෝදනා ගොඩනැගුවා. තාජුඩීන්ගේ නඩුව සම්බන්ධයෙන් නාරාහේන්පිට OICවරයා ලවා බොරු සාක්ෂි කියවීමට එදා සිටි නිලධාරීන් කටයුතු කළා. ඒ නිලධාරීන්ම තමයි අදත් ඉහළ පුටුවල ඉන්නේ. CIDය නිරන්තරයෙන්ම බොරු සාක්ෂි හදා ආණ්ඩුව සතුටු කරවන්න උත්සාහ කරනවා,” යැයි ඔහු චෝදනා කළේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කරුණු මාධ්‍යයට හෙළි නොකර, ඒවා අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, මෙලෙස මාධ්‍ය හරහා කතා කිරීමෙන් පෙනී යන්නේ මෙම නඩුව දේශපාලනික කතිකාවතක් බවට පත්කිරීමේ උවමනාව බවයි.

“පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියන විදියට, යම් කාන්තාවක් තමන්ගේ ස්වාමිපුරුෂයා ඉනට අත තියාගෙන ඉන්නවා කියා හඳුනාගත්තා නම්, ඇය කවුද, ඇගේ සැමියා කවුද, ඔවුන් ඇසුරු කළේ කවුද කියා පොලීසිය සොයා බැලිය යුතුයි,” යැයි ඔහු පැවසීය.

ආණ්ඩුව ප්‍රශ්න හමුවේ අසරණ වූ විට, ජනතා අවධානය වෙනතකට යොමු කිරීමට මෙවැනි දේ යොදාගන්නා බවට චෝදනා කළ නාමල් රාජපක්ෂ මහතා, අධිකරණ ක්‍රියාවලියට හෝ පරීක්ෂණවලට අගතියක් වන ලෙස ප්‍රකාශ නිකුත් කරන ඕනෑම අයෙකුට එරෙහිව ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක වනු ඇති බවට අනතුරු ඇඟවීය.