ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවය, ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) පෙරවරුවේ ටෝකියෝ නුවර අග්‍රාමාත්‍ය කාර්යාල පරිශ්‍රයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

ජනාධිපතිවරයා වෙත ජපාන ස්වයං ආරක්ෂක බලකායේ උත්තමාචාරය පුද කිරීමෙන් අනතුරුව, නායකයින් දෙපළ අතර නිල ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ විය.

මෙහිදී අදහස් දැක්වූ ජපන් අග්‍රාමාත්‍යවරයා, ඉන්දියානු සාගරයේ කේන්ද්‍රීය ස්ථානයක පිහිටි ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය සහ සංවර්ධනය කලාපයට ඉතා තීරණාත්මක බව පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාව සමග වෙළෙඳ, ආයෝජන සහ ආරක්ෂක ක්ෂේත්‍රවල හවුල්කාරිත්වය තවදුරටත් පුළුල් කර ගැනීමට ජපානය අපේක්ෂා කරන බවද ඔහු පැවසීය.

ඊට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය විශ්වාසය සිහිපත් කළේය. ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ ස්ථාවරත්වය වෙනුවෙන් ජපානය සමග එක්ව කටයුතු කිරීමට කැපවන බවට ඔහු සහතික විය. ආර්ථික අර්බුදය හමුවේ නැවතී තිබූ ජපන් සංවර්ධන ව්‍යාපෘති 11ක් යළි ආරම්භ කිරීමට සහ ණය ප්‍රතිව්‍යුහගතකරණයට ලබාදුන් සහාය වෙනුවෙන් ජනාධිපතිවරයා ජපන් රජයට සිය ස්තූතිය පුද කළේය.

මෙම සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන අංශයේ ඵලදායිතාව ඉහළ නැංවීමට සහ නිල ආරක්ෂක ආධාර ලබාදීමට අදාළ හුවමාරු පත්‍ර දෙකකටද දෙපාර්ශ්වය විසින් අත්සන් තබන ලදී.

සාකච්ඡාවලින් අනතුරුව ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කෙරුණු අතර, ජපන් අග්‍රාමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා දූත පිරිස වෙත විශේෂ භෝජන සංග්‍රහයක් ද පිරිනමන ලදී.