ඉන්දීය ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගැනීම තුළින් මුදල් විශුද්ධිකරණයේ යෙදුණු බවට හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවට අදාළව, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ඇති මුල් නඩු වාර්තාව වහාම කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (26) නියෝග කළේය.
මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී, විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා අධිකරණයේ පෙනී සිටියේය.
විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා, සාධාරණ නඩු විභාගයක් සඳහා අවශ්‍ය ලේඛන කිහිපයක් පැමිණිල්ල විසින් තවමත් ලබා දී නොමැති බවට අධිකරණයට දන්වා සිටියේය. ඊට ප්‍රතිචාර දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා, ඉතිරි ලේඛන ද කඩිනමින් ලබාදීමට කටයුතු කරන බවට පොරොන්දු විය.
ඒ අනුව, ඊළඟ නඩු දිනයට පෙර අදාළ ලේඛන විත්තියට ලබාදෙන ලෙස විනිසුරුවරිය පැමිණිල්ලට නියෝග කළාය.
මීට අමතරව, මෙම නඩුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ඇති මුල් නඩු ගොනුව මෙතෙක් මහාධිකරණයට ලැබී නොමැති බව පෙන්වා දුන් විනිසුරුවරිය, එය වහාම කැඳවීමට පියවර ගන්නා ලෙස මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියම කළාය.
නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා දෙසැම්බර් 18 වන දා යළි කැඳවීමටද තීරණය විය.
මේ අතර, පොදුජන පෙරමුණේ සමාජ මාධ්‍ය ගිණුමක පළකර තිබූ සටහනක දැක්වුණේ, අදාළ රුපියල් මිලියන 70 වියදම් කළ ආකාරය පිළිබඳ සවිස්තර වාර්තාවක් පොලීසියට ලබා දුන්නද, පොලීසිය විසින් එම වාර්තාව අස්ථානගත කර ඇති බවයි