අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රධාන අංගයක් ලෙස ඩිජිටල්කරණය යොදාගන්නා බවත්, ඒ සඳහා වසර තුනක කාලයක් සඳහා ‘ඩිජිටල් කාර්ය සාධක බලකායක්’ පත් කළ බවත් අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ පැවති ප්‍රගති සමාලෝචන සාකච්ඡාවකට එක්වෙමින් අගමැතිවරිය මේ බව සඳහන් කළාය. “ඩිජිටල් අධ්‍යාපනයේ අත්තිවාරම, ව්‍යුහය සහ ප්‍රතිපත්ති සකස් කර දීම අපගේ වගකීමක්. එම අත්තිවාරම මත දරුවන් ඉදිරියට යනු ඇතැයි” ඇය විශ්වාසය පළ කළාය.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් ඒ. බී. එම්. අස්රෆ් මහතා, රට තුළ පවතින 42,000ක දැවැන්ත ගුරු හිඟයට පිළියමක් ලෙස ඩිජිටල්කරණය උපයෝගී කරගන්නා බව පැවසීය.
දුෂ්කර පළාත්වල දරුවන්ට අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම, ව්‍යසන තත්ත්වයකදී අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාම සහ දරුවන් අන්තර්ජාලයට සහ විද්‍යුත් උපාංගවලට ඇබ්බැහි වීමෙන් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ බව ඒ මහතා සඳහන් කළේය. දරුවන් අධ්‍යාපනයේ සිරකරුවන් නොකර, ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ඔවුන්ට නව ජීවිතයක් ලබා දීම සහ අධ්‍යාපනයේ අසමතුලිතතාව අවම කිරීම මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණක් බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.