මතු පරපුරට සුරක්ෂිත ලෝකයක් උරුම කර දීම සඳහා එකිනෙකා පරයා යන ගමනක් වෙනුවට, අත්වැල් බැඳගත් ගමනක් යාමට හදවතට එකඟව ඇපකැප වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ 80 වන මහා මණ්ඩල සැසිවාරය අමතමින් ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකා වේලාවෙන් අද (25) අලුයම නිව්යෝර්ක් නුවරදී සමුළුව ඇමතූ ජනාධිපතිවරයා, ගාසා තීරයේ සිදුවන බිහිසුණු ව්‍යසනය පිළිබඳව සිය දැඩි කණස්සල්ල පළ කළේය. දෙපාර්ශ්වයම වහාම සටන් විරාමයකට එළඹිය යුතු බවත්, බාධාවකින් තොරව මානුෂීය ආධාර ලබා දිය යුතු බවත්, සියලු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කළ යුතු බවත් ඔහු තරයේ අවධාරණය කළේය.

දුප්පත්කම, මත්ද්‍රව්‍ය උවදුර සහ දූෂණය යන ගෝලීය ව්‍යසනයන් පිළිබඳවද ජනාධිපතිවරයා ලෝක නායකයන්ගේ අවධානය යොමු කළේය. “දූෂණයට එරෙහි සටන භයානකයි. නමුත්, දූෂණයට එරෙහිව සටන් නොකිරීම ඊටත් වඩා භයානකයි,” යනුවෙන් ප්‍රකාශ කළ ඒ මහතා, ශ්‍රී ලංකාව මතු පරපුර වෙනුවෙන් එම අසීරු සටන ආරම්භ කර ඇති බවත්, එය සෑම රටකම සංස්කෘතියේ කොටසක් විය යුතු බවත් යෝජනා කළේය.

අන්ධකාරය වෙනුවට ආලෝකයේ මාවත තෝරාගත් ශ්‍රී ලාංකික ජනතාව, ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ යන දැක්ම වටා එක්ව සිටින බවද ජනාධිපතිවරයා පැවසීය. දූෂණයෙන් තොර සදාචාරාත්මක පාලනයක්, දුප්පත්කම තුරන් කිරීම සහ ඩිජිටල්කරණය හරහා එම ඉලක්කය කරා පියවරෙන් පියවර ගමන් කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.