කිසිදු අපරාධයක් කාලයේ වැලිතලාවෙන් වැසී යාමට ඉඩ නොතබන බවත්, අපරාධකරුවන් නීතිය හමුවට ගෙන ඒමට කාලය බාධාවක් නොවන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. “නීතිය සුරකිමු – සාමය අගයමු” යන තේමාව යටතේ ඊයේ (03) තිඹිරිගස්යාය පොලිස් ක්‍රීඩාංගණයේ පැවති 159 වන පොලිස් දින සැමරුම් උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
සොයාගත නොහැකි වූ සෑම අපරාධයක් පිටුපසම දේශපාලන බලය පැවති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, තම රජය යටතේ එවැනි දේශපාලන මැදිහත්වීම් සිදු නොවන බවට සහතික වන බවත්, නොබියව තම රාජකාරිය නිවැරදිව ඉටු කරන නිලධාරීන් ආරක්ෂා කිරීමට කටයුතු කරන බවත් ප්‍රකාශ කළේය.
පොලිස් දෙපාර්තමේන්තුවේ ගෞරවයට හානි කරන සුළු පිරිසක් සිටින බව පෙන්වා දුන් ඒ මහතා, විශේෂයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ නිලධාරීන්ට දැඩි අනතුරු ඇඟවීමක් කරමින්, “එක්කෝ හරියට රාජකාරිය කරන්න, බැරිනම් ඉවත් වන්න, එසේ නොමැති නම් ඉවත් කිරීමට” කටයුතු කරන බවට අවධාරණය කළේය.
පොලිස් දෙපාර්තමේන්තුව මුහුණ දෙන ගැටලු පිළිබඳව ද අවධානය යොමු කළ ජනාධිපතිවරයා, නිලධාරීන් 10,000ක් අලුතින් බඳවා ගැනීමටත්, අදියර කිහිපයකින් වැටුප් හා දීමනා ඉහළ නැංවීමටත්, නවීන තාක්ෂණයෙන් පොලීසිය සවිබල ගැන්වීමටත් රජය කැපවී සිටින බව පැවසීය. මහජනතාවට සමීප, ගෞරවනීය හා වෘත්තීමය පොලිස් සේවාවක් ගොඩනැගීමේ වැදගත්කමද ඔහු පෙන්වා දුන්නේය.
මෙම උත්සවයේදී ජනාධිපතිවරයා පොලිස් උත්තමාචාරය පිළිගත් අතර, විශිෂ්ට සේවයේ නියුතු නිලධාරීන් වෙත ජනාධිපති වීර පදක්කම් ප්‍රදානය කිරීම ද සිදු කෙරිණි. රාජකාරියේදී දිවි පිදූ පොලිස් විරුවන් ද මෙහිදී ගෞරවයෙන් සිහිපත් කෙරිණි. මෙම අවස්ථාවට කථානායක, අමාත්‍යවරුන්, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
