“නීතිය සුරැකිමු – සාමය අගයමු” යන්න තේමා කරගනිමින් ශ්‍රී ලංකා පොලීසියේ 159 වන සංවත්සරය සැමරීමේ ජාතික උත්සවය, ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (03) දින බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථාන ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු සම්භාවනීය ආරාධිතයින් විශාල පිරිසක් සහභාගී වූහ. උත්සව භූමියට පැමිණි ජනාධිපතිතුමන්, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පිළිගැනීමෙන් අනතුරුව, එතුමන් වෙත පොලිස් උත්තමාචාරයක් ද පුද කෙරිණි.

උත්සව සභාව අමතමින් අදහස් දැක්වූ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා, ශ්‍රී ලංකා පොලීසිය මේ දක්වා ලබා ඇති සුවිශේෂී ප්‍රගතිය පිළිබඳව කරුණු පැහැදිලි කළේය.

ඔහු අවධාරණය කළේ සංවිධානාත්මක හා සංක්‍රාන්ත්‍රික අපරාධ මැඩලීම සඳහා පුළුල් මෙහෙයුම් දියත් කර ඇති බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස, විදෙස් රටවල සිට මෙරට අපරාධ මෙහෙයවූ පුද්ගලයින් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන ඒමට හැකි වූ බව ඔහු පැවසීය. මෑතකදී ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී ජාත්‍යන්තර පොලීසිය සමග එක්ව අපරාධ කල්ලි සාමාජිකයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීම පොලීසිය ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක් ලෙසද පොලිස්පතිවරයා පෙන්වා දුන්නේය.

තවද, මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව සිදුකළ වැටලීම් වලදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1416ක්, හෙරොයින් කිලෝග්‍රෑම් 946ක් සහ ගංජා කිලෝග්‍රෑම් 1282ක් වැනි විශාල මත්ද්‍රව්‍ය තොගයක් ද, T56 සහ පිස්තෝල ඇතුළු නීති විරෝධී ගිනි අවි 1612ක් ද පොලිස් භාරයට ගෙන ඇති බව ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත්, මෙම මෙහෙයුම් කටයුතු මධ්‍යයේ පොලිස් දෙපාර්තමේන්තුව තුළ නිලධාරීන් 30,000ක හිඟයක් පවතින බවද පොලිස්පතිවරයා මෙහිදී අනාවරණය කළේය.