සෑම කාන්තාවකටම සහ ගැහැනු ළමයෙකුටම ගෞරවාන්විතව, ආරක්ෂිතව ජීවත්විය හැකි වටපිටාවක් නිර්මාණය කරමින් රටේ දියුණුවට පූර්ණ දායකත්වයක් ලබා දිය හැකි අවස්ථා නිර්මාණය කර දිය යුතු බවත්, එමගින් රට තුළ පූර්ණ සංවර්ධනයක් ළඟා කර ගත හැකි බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවා ය.


අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) විසින් සංවිධානය කරන ලද “ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය තුළින් ප්‍රතිපත්තිමය වෙනසක් ඇති කිරීම, දැනුම තුළින් රටේ ප්‍රගතිය වේගවත් කිරීම” මැයෙන් අගෝස්තු 27වන දා ගාලුමුවදොර හෝටලයේ පැවැති ප්‍රතිපත්ති හා පර්යේෂණ සමුළුව අමතමිනි.

මෙහි දී ශ්‍රී ලංකාවේ පවතින ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ අසමානතාවයන් සහ මතුවන අභියෝගවලට විසඳුම් ලබා දීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයන්ට, පර්යේෂකයන්ට සහ සිවිල් සමාජයට අවශ්‍ය තීරණාත්මක සාක්ෂි සහ ප්‍රතිපත්ති නිර්දේශ සපයන සුවිශේෂී වාර්තා හතරක් නිල වශයෙන් අග්‍රාමාත්‍යතුමිය වෙත පිළිගැන්විණි. මෙම වාර්තා මගින් වඩාත් සාධාරණ හා සමාන සමාජයක් නිර්මාණය කිරීම සඳහා මග පෙන්වීමක් අපේක්ෂා කෙරේ.

එම අවස්ථාවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය…

”සෑම කාන්තාවක් ම සහ ගැහැනු ළමයෙකුට ම ගෞරවාන්විතව, ආරක්ෂිතව ජීවත් වීමට හැකි වටපිටාවක් ගොඩ නැගීම තුළින් රටේ දියුණුවට පූර්ණ දායකත්වයක් ලබා දීමට හැකි වන පරිදි අවස්ථාව ලබා දිය යුතුයි. එය ළඟා කරගත් විට මුළු රටට ම ඉදිරියට යා හැකියි. කාන්තාවන් මත අසමාන ලෙස පැටවෙන වැටුප් නොගෙවන   සත්කාරක සේවා පිළිබඳව විශේෂයෙන් අපේ අවධානය යොමු  කරන්න අවශ්‍යයි.  කාන්තාවන්ගේ රැකියා සහ සත්කාරක සේවා සමබර කරගෙන  ඔවුන්ගේ සහභාගීත්වය ඉහළ නැංවීම ජාතික ප්‍රගතියට අත්‍යවශ්‍යයි.”

මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) නියෝජිත Kunle Adeniyi, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නලින් අබේසිංහ, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු පිරිසක් සහභාගී වූහ.