සිය විශ්‍රාම වැටුප් අයිතිය අහෝසි කිරීමට වත්මන් රජය ගන්නා උත්සාහයට එරෙහිව කඩිනමින් පියවරක් ගන්නා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එකමුතුව ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර ඇත.


එහි ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමසිරි මානගේ කියා සිටින්නේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට පියවර ගතහොත් ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන්ගේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දක්වාම සිටි කාලය තුළ ජනතා විමුක්ති පෙරමුණ අනීතිකව ලබා ගත් වැටුප නැවත ලබා දෙන ලෙස ඉල්ලීමක් කරන්නට සිදුවනු ඇති බවය.

මන්ත්‍රිවරුන් 500කට ආසන්න පිරිසක් සාමාජිකත්වය ගෙන ඇති එම එකමුතුව මානව හිමිකම් කොමිෂන් සභාවට යොමු කළ ලිපියක් මගින් පෙන්වා දෙන්නේ බොහොමයක් විශ්‍රාමික මන්ත්‍රිවරුන්ට මේ වනවිට වෙනත් කිසිදු ආදායම් මාර්ගයක් නොමැති බවයි.

විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රි එකමුතුව පවසන්නේ මන්ත්‍රි විශ්‍රාම වැටුප අහෝසි කළහොත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

විශ්‍රාමික මන්ත්‍රිවරුන්ගෙන් බොහොමයන් මේ වනවිට වයෝවෘධ හෝ රෝගී තත්ත්වයන්ගෙන් පසුවන අතර අඩුම තරමින් විශ්‍රාමික මන්ත්‍රිවරුන්ට රැකියාවක් හෝ ව්‍යාපාරයක් කිරීමේ හැකියාවක් නොමැති බවත් ඔවුන් පෙන්වා දෙයි.

සිය පවුලේ මූලික අවශ්‍යතා හෝ සපුරා ගැනීමට මෙම විශ්‍රාම වැටුප කිසිසේත්ම ප්‍රමාණවත් නොවන පසුබිමක පවතින විශ්‍රාම වැටුප ද අහෝසි කිරීමෙන් ඇතිවන තත්ත්වය ඉතා අසාධාරණ බව විශ්‍රාමික මන්ත්‍රිවරුන්ගේ එකමුතුව පවසයි.

නව රජය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙන ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටද පසුගියදා කැබිනට් අනුමැතිය හිමිව තිබුණි.