රටක් නවීනත්වය කරා ගමන් කිරීමේදී, එහි පොදු ප්‍රවාහන පද්ධතියේ කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය තීරණාත්මක සාධකයකි. මෙම පසුබිම තුළ, ‘Dream Destination’ නමින් දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමට රජය ගෙන ඇති පියවර, හුදු යටිතල පහසුකම් සංවර්ධනයක් පමණක් නොව, පුළුල් සමාජ-ආර්ථික පරිවර්තනයක් ඉලක්ක කරගත් දැක්මක් ලෙස සැලකිය හැකිය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දෙන පරිදි, දිනකට රිය අනතුරුවලින් අට දෙනෙකු පමණ මියයාම, රථවාහන තදබදය නිසා දළ දේශීය නිෂ්පාදිතයෙන් සැලකිය යුතු කොටසක් අහිමි වීම සහ පාරිසරික හානිය වැනි බහුවිධ අර්බුද සඳහා ප්‍රධාන විසඳුමක් ලෙස ශක්තිමත් පොදු ප්‍රවාහනය නැගී සිටියි. පැවති ක්‍රමවේදයන්හි ප්‍රතිසංස්කරණ පමණක් සිදු කරනවා වෙනුවට, රට නව තලයකට ඔසවා තැබීමේ වත්මන් රජයේ අභිලාෂය මෙ ව්‍යාපෘතිය මගින් මනාව පිළිබිඹු වේ.

රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වය (PPP) යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම එහි තවත් වැදගත් ලක්ෂණයකි. එමගින්, රාජ්‍ය සම්පත් මත පමණක් රඳා නොපවතිමින්, පෞද්ගලික අංශයේ කාර්යක්ෂමතාව, නවෝත්පාදනය සහ ආයෝජන ජාතික සංවර්ධනය උදෙසා යොදාගැනීමට අවස්ථාව සැලසේ.

අවසාන විග්‍රහයේදී, ‘Dream Destination’ යනු දුම්රිය ස්ථාන අලංකාර කිරීමේ වැඩසටහනකට වඩා, විනයගරුක, කාර්යක්ෂම සහ ජනතා කේන්ද්‍රීය රාජ්‍යයක් ගොඩනැගීමේ සංකේතාත්මක ආරම්භයකි.