ශ්‍රව්‍යාබාධිත, දෘශ්‍යාබාධිත ආදි විශේෂ අවශ්‍යතා සහිත මගී ජනතාවගේ පහසුව වෙනුවෙන්, ඔවුන්ට ද පොදු ප්‍රවාහනය වෙත ප්‍රවේශ වීමේ හැකියාව ලබාදීමත්, පොදු ප්‍රවාහනය තුළ කාන්තා ආරක්ෂාව තහවුරු කිරීමත් අරමුණුකර, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් අන්තර්කරණ සහය මධ්‍යස්ථානයක් විවෘත කිරීම, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය ඇමති වෛද්‍ය ප්‍රසන්න ගුණසේනගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී.

පසුගිය 11 වනදා පෙරවරුවේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන පරිශ්‍රයේ මෙම විශේෂ ස්ථාපිත කිරීම මගින් හදිසි දැනුම්දීමේ අංකයක්, ශ්‍රව්‍යාබාධිත මගීන්ට සන්නිවේදන පහසුවක් මෙන්ම තොරතුරු දැනගැනීමේ පහසුව වැනි සේවාවන් රැසක් මගී ජනතාවට හිමි වේ. මෙහි විශේෂත්වය වන්නේ මෙම උපකාරක කවුලුවේ (Help Desk) සේවය සඳහා විශේෂ අවශ්‍යතා සහිත සේවක පිරිස්ම යොදවා තිබීමයි. මෙම අවස්ථාවට සමගාමීව, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ වෙබ් අඩවිය එළිදැක්වීම ද නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සිදු කරන ලදී.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැමිණ සිටි පිරිස අමතමින් පැවසුවේ, මෙවැනි සමාජ සද්කාර්යයන් දේශපාලනීකරණය වියයුතු නොමැති බවත්, සෑම කටයුත්තකටම දේශපාලනය සම්බන්ධ කරගැනීමෙන් සමාජය යාවත්කාලීන කළ නොහැකි බවත්ය.

එසේම සමාජමය පරිවර්ථනයක් සිදුකිරීමට නම්, අප සමග ජීවත්වන විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට නැගී සිටීමට මේ ආකාරයෙන් අපගේ සහෝදරාත්මක දෑත් දිගුකළ යුතු බවද නියෝජ්‍ය ඇමති මෙහිදී වැඩිදුරටත් පැවසීය.