අද දින (01) අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් ඓතිහාසික පියවරක් තබමින් අයුතු ලෙස උපයාගත් මුදල් සහ දේපළ සම්බන්ධ නව නීති රාමුවක් ඇති කිරීමට පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

නීතිඥ හර්ෂණ නානායක්කාර අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද “අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ” පනත් කෙටුම්පත මගින් දේශීයව මෙන්ම විදේශගතව ඇති අයුතු ලෙස උපයාගත් සම්පත් නැවත රජයට පවරා ගැනීමට නීතිමය බලය ලැබෙනු ඇත.

පනත් කෙටුම්පතේ ප්‍රධාන අරමුණු:

  • අපරාධමය ක්‍රියාවලින් උපයාගත් දේපළ හා මුදල් විමර්ශනය කිරීම හා තහනම් කිරීම
  • එම දේපළ රජය සතු කිරීම සහ අවශ්‍ය පරිදි බැහැර කිරීම
  • තහනම් කරන ලද දේපළ ආරක්ෂා කිරීම, සංරක්ෂණය කිරීම හා කළමනාකරණය කිරීම
  • “අපරාධයකින් උත්පාදිත දේ කළමනාකරණය කිරීමේ අධිකාරිය” නමින් නව ආයතනයක් පිහිටුවීම
  • මෙම කටයුතු සඳහා ජාත්‍යන්තර හා අන්තර් ආයතනික සහයෝගීතාව වර්ධනය කිරීම

මෙම පනත් කෙටුම්පත හෙට (02) දින දෙවන වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙය ක්‍රියාත්මක වීමෙන් දූෂණය හා අපරාධමය ක්‍රියා මගින් රටින් බැහැරට ගලා යන මුදල් හා දේපළ නැවත රට වෙත ගෙන ඒමට ප්‍රබල නීතිමය රාමුවක් ස්ථාපිත වනු ඇත.