මේ දිනවල ජිනීවා හි පැවැතැවෙන් හිමිකම් කවුන්සිලයේ 58 වැනි නිත්‍ය සැසිවාරය සඳහා සහාගී වී සිටින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමති විජිත හේරත් ඊයේ (25) එම සැසිවාරය අමතනු ලැබීය.

එහිදී ශ්‍රී ලංකාව මානව හිමිකම් සඳහා දක්වන කැපවීම තහවුරු කර තිබෙන අතර අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය, වන්දි ගෙවීමේ කාර්යාලය, ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වන කාර්යාලය වැනි දේශීය ආයතන ශක්තිමත් කරන බව සඳහන් කර ඇත.

ඒ අනුව රජයේ අරමුණ වන්නේ ව්‍යවස්ථාමය රාමුව තුළ දේශීය යාන්ත්‍රණයන් විශ්වාසදායක සහ ශක්තිමත් තත්වයට පත් කිරීම බවද ඔහු එහිදී ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලාංකීය සමාජය තුළ ආතතීන් ඇති කරන ජාතිවාදය සහ ආගම්වාදය නිසා හටගන්නා ප්‍රචණ්ඩ ක්‍රියා විමර්ශනය කිරීමට බලයලත් සත්‍ය සහ සංහිඳියා කොමිසමක් සඳහා වන වැඩපිළිවෙලක්ද ඊට ඇතුළත් වන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමති විජිත හේරත් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමති විජිත හේරත්,

“සභාපතිතුමනි,

සම්භාවනීය නියෝජිතයිනි,

සභාපතිතුමනි, මෙම කවුන්සිලයේ සභාපතිවරයා ලෙස ඔබ තේරී පත්වීම පිළිබඳව මම ඔබට සුබ පතනවා.

මාස කිහිපයකට පෙර පැවැති මැතිවරණයේදී, ශ්‍රී ලංකාවේ ජනතාව ආර්ථික, සමාජීය සහ දේශපාලනික පරිවර්තනයක් කරා රට යොමු කිරීම සඳහා ශක්තිමත් ජනවරමක් සහිත නව රජයක් තෝරා පත් කර ගත්තා. මෙම මැතිවරණ ප්‍රතිඵල වලින් රටේ සෑම ප්‍රදේශයකම වෙසෙන සියලු ජනවර්ග සහ ආගම්වලට අයත් ජනතාව විසින් දරනු ලබන ඒකීය මතය පිළිබිඹු වුණා.

වත්මන් පාර්ලිමේන්තුව, අපගේ ඉතිහාසය තුළ සියලු ජන කොටස් වඩාත්ම හොඳින් නියෝජනය කෙරෙන පාර්ලිමේන්තුව වන අතර, වාර්තාගත කාන්තාවන් සංඛ්‍යාවක්, මලයහ ප්‍රජාවෙන් දෙදෙනෙකු සහ දෘශ්‍යාබාධිත පුද්ගලයෙකුද එයට ඇතුළත් වනවා. මෙම නියෝජනය කිරීම, ස්ත්‍රී පුරුෂ භාවය, ජනවාර්ගිකත්වය හෝ වෙනත් හේතු නොසලකා සියලුම ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම කෙරෙහි අවධානය යොමු කරන ශ්‍රී ලංකාවේ නව මාවත විද්‍යමාන කරනවා.

ජනගහනයේ සියලුම කොටස්වලට, විශේෂයෙන්ම දිළිඳුම සහ වඩාත් අවදානමට ලක්විය හැකි අයට ආර්ථික අර්බුදය හේතුවෙන් බොහෝ බලපෑම් සිදුවුණා. ආර්ථිකය ස්ථාවර කිරීමෙන් පසු අවස්ථා සාධාරණ ලෙස බෙදා හැරීම මඟින් ආර්ථික පරිවර්තනයක් සහ වඩා හොඳ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා අඩිතාලම දැමීමේ ක්‍රියාවලියක රජය වර්තමානයේ යෙදී සිටිනවා.

අපගේ ජනතාවට, විශේෂයෙන් වඩාත් අවදානමට ලක්විය හැකි අයට, එල්ල විය හැකි ආර්ථික අභියෝගවල අඛණ්ඩ බලපෑම පිළිබඳව අප හොඳින් දන්නවා. රජය, ඔවුන්ගේ ආර්ථික හා සාමාජික අයිතිවාසිකම් අභිවර්ධනය කිරීම සඳහා තීරණාත්මක පියවර ගනිමින් සිටිනවා.

2025 ජාතික අයවැයෙන්, සමාජ සුබසාධනය සහ ආරක්ෂාව සඳහා වැඩි ප්‍රතිපාදන ඇතුළුව ජනතාවට අත්‍යවශ්‍ය සහන ලබා දීම සඳහා ක්‍රියාමාර්ග මාලාවක් ගැනීම සඳහා අප කැපවුණා. උතුරු හා නැගෙනහිර පළාත්වල සමාජ-ආර්ථික තත්ත්වයන් වැඩිදියුණු කිරීම සහ නැවත පදිංචි කිරීම, නිවාස, වන්දි සහ යටිතල පහසුකම් සංවර්ධනය වැනි ඉතා වැදගත් අවශ්‍යතා සපුරාලීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.

ජනවාරි පළමුවැනිදා ජනාධිපතිතුමා විසින් දියත් කරනු ලැබූ “ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතිය හරහා රජය නව දේශපාලන සංස්කෘතියක් සහ සදාචාරාත්මක පාලනයක් ඇති කිරීම සඳහා සහතික වී තිබෙනවා. අවංකභාවයටත් අවපාලනය හා දූෂණය පිළිබඳ ගැටලු විසඳීමටත් රජය ප්‍රමුඛත්වය දී කටයුතු කරනු ඇති.

අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සුරක්ෂා කොට ඇති ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස පිළිබඳ මූලික හා දිගුකාලීන මූලධර්මවලට ගරු කරමින් සියලුම පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට අප කටයුතු කරනවා. මේ සඳහා පරිපාලන, දේශපාලන සහ මැතිවරණ ක්‍රියාවලීන් සක්‍රීය කෙරෙනු ඇති.

ජාතික සමගිය සහ සංහිඳියාව තවදුරටත් ඉදිරියට ගෙන යෑම සඳහා ප්‍රත්‍යක්ෂ පියවර ගැනීමට රජය ප්‍රතිඥා දී තිබෙනවා. සංහිඳියාවෙන් යුත් ශ්‍රී ලංකාවක් සඳහා වන අපගේ දැක්මට අනුකූලව සහ ප්‍රජාවන් අතර පරතරය දුරු කිරීම සඳහා ශ්‍රී ලංකා දිනයක් ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිතුමා යෝජනා කර තිබෙනවා.

ගැටුමෙන් පසුව ශේෂව ඇති අභියෝගවලට විසැඳුම් සෙවීම සඳහා ස්ථාපිත කර ඇති දේශීය ක්‍රියාවලීන් ස්වාධීනව සහ විශ්වසනීය ලෙස තම කටයුතු ඉදිරියටත් සිදු කරගෙන යනු ඇති බවට අප සහතික වනවා. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය, හානිපූරණ කාර්යාලය, ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වූ කාර්යාලය වැනි දේශීය ආයතන ශක්තිමත් කිරීමටද අප බලාපොරොත්තු වනවා. සියලු ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනාගත් ක්‍රියාවලියක් සහතික කිරීම සඳහා සත්‍ය සහ ප්‍රතිසන්ධාන රාමුවක සමෝච්ඡයන්, හැකි සියලු පාර්ශ්වකරුවන් සමඟ තවදුරටත් සාකච්ඡා කෙරෙනු ඇති.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය රාමුව තුළ දේශීය යාන්ත්‍රණ විශ්වාසදායක සහ ශක්තිමත් ලෙස තහවුරු කිරීම අපගේ අරමුණයි. ශ්‍රී ලාංකීය සමාජය තුළ ගැටුම් ඇති කරන ප්‍රචණ්ඩ ක්‍රියා විමර්ශනය කිරීම සඳහා සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම සවිබල ගැන්වෙනු ඇති.

යුක්තිසහගත, සාධාරණ සහ සමෘද්ධිමත් සමාජයක් සඳහා වූ ජනතා අභිලාෂයන් ඉටුකිරීමේ ජනවරමට සමගාමීව ඇති වගකීම් රජය මුළුමනින්ම අවබෝධ කරගෙන සිටිනවා. ජාතික සමගිය, සංහිඳියාව සහ සියල්ලන් ඇතුළත් කරගත් සංවර්ධනය ළඟා කරගැනීම උදෙසා අප කටයුතු කරන විට ජාත්‍යන්තර ප්‍රජාවේ අඛණ්ඩ දිරිගැන්වීම සහ සහයෝගය වැදගත් වනු ඇති.

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී සාමාජිකයකු වන අතර සියලු මූලික මානව හිමිකම් සම්මුතීන්වල පාර්ශ්වකරුවකු වනවා. අප නිතිපතා ගිවිසුම් සහ විශේෂ ක්‍රියා පටිපාටි සමඟ සම්බන්ධ වමින් ක්‍රියාකරනවා. පසුගිය වසර කිහිපය තුළ, විශේෂ ක්‍රියා පටිපාටි දහයකට අධික සංඛ්‍යාවක නියෝජිතයන් ශ්‍රී ලංකාවේ සංචාරවල නිරත වී ඇති අතර ඉතා මෑතකදී කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස්කම් කිරීම් තුරන් කිරීම පිළිබඳ සම්මුති කමිටුව, සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය සහ විශ්ව කාලාන්තර සමාලෝචනය වැනි ගිවිසුම් සමඟ ශ්‍රී ලංකාව ඵලදායි ලෙස සම්බන්ධ වී සිටිනවා. අඛණ්ඩ සහ සැලසුම්සහගත මැදිහත්වීම් ඔස්සේ මානව හිමිකම් පිළිබඳ ඵලදායී සංවාදයක් සහ සහයෝගීතාවක් ගොඩනැඟීම සඳහා අප කැපවී කටයුතු කරනවා.

විශ්වීයබව, අපක්ෂපාතීත්වය, වාස්තවිකත්වය සහ තෝරා නොගැනීම යන කවුන්සිලයේ ආරම්භක මූලධර්මවලට අනුකූලව සමතුලිතව හා පරිපූර්ණ ලෙස ගෝලීය අභියෝගවලට මුහුණ දීම සඳහා මෙම කවුන්සිලයට සහය වීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටිනවා. ඉල්ලීම් මත සහය ලබාදීම මඟින් ඌනපූරණය වන ශක්තිමත් ජාතික මානව හිමිකම් රාමු ඔස්සේ තමන් මුහුණදෙන අභියෝගවලට විසැඳුම් සෙවීමට රාජ්‍යයන් දිරිමත් කළ යුතු බව සහ සවිබල ගැන්විය යුතු බව අප විශ්වාස කරනවා.
අපගේ ජාතික නීති රාමුව තුළ, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ මෙම කවුන්සිලය සමඟ, සංවාදයේ සහ සහයෝගීතාවේ ඵලදායී ජීවගුණයෙන් යුතුව අප අඛණ්ඩව කටයුතු කරනු ඇති.
ස්තුතියි.”