ඩිජිටල් සමාජයක් කරා රට ගෙන යාමේ දැවැන්ත පියවරක් තබමින් නව ඩිජිටල් ප්‍රවේශයන් 03ක් හඳුන්වා දීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (07) ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරේ.
සියලුම රජයේ ගෙවීම් ඩිජිටල්කරණය කිරීමේ GOVPAY පහසුකම දියත් කිරීම, මෙතෙක් කොළඹ ප්‍රධාන කාර්යාලයෙන් පමණක් සිදු වූ ජනාධිපති අරමුදලේ සේවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටම දක්වා ගෙන යාම සහ විදේශ තානාපති කාර්යාල හරහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ උප්පැන්න, විවාහ හා මරණ සහතිකවල පිටපත් ලබා ගැනීමට විදේශගත ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව සලසා දීමේ (EBMD) පහසුකම දියත් කිරීම ඒ අනුව අද දින සිට සිදු කෙරේ.
මේ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්නගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පස්වරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැත්වුණු අතර ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රොෂන් ගමගේ, විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එම්.කේ පද්මනාදන්, ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ (ICTA) අධ්‍යක්ෂ හර්ෂ පුරසිංහ, LankaPay ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී චන්න ද සිල්වා යන අය ඊට එක්ව සිටියහ.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි ඩිජිටල් සමාජයක් කරා රට ගෙන යාමේ වැඩපිළිවෙළ යථාර්ථයක් කරමින් මෙම නව ප්‍රවේශයෙන් හඳුන්වාදීමට කටයුතු කර ඇති බව ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මෙහිදී සඳහන් කළේය.
මුදල් මත පදනම් වූ ගෙවීම් වංචා සහ දූෂණ වැඩි වීමට මෙන්ම ගනුදෙනු ක්‍රියාවලියෙහි අකාර්යක්ෂමතාවයට හේතු වී ඇති බව පෙන්වා දුන් නියෝජ්‍ය ඇමති මෙම අභියෝගවලට මුහුණදීම සඳහා සියලුම රජයේ ගෙවීම් ඩිජිටල්කරණයට කටයුතු කරන බව පැවසීය.
තවද, ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීම මගින් මහජනතාවට වඩාත් පහසු සහ විශ්වාසනීය සේවාවක් සැපයෙනු ඇති බව නියෝජ්‍ය ඇමති සඳහන් කළේය.
1978 වසරේ ආරම්භ කළ ජනාධිපති අරමුදලෙහි මේ දක්වා අයදුම්පත් භාර ගැනීම සිදු වූයේ කොළඹ ප්‍රධාන කාර්යාලයෙන් පමණක් වන අතර හෙට දින සිට දිවයිනේ ප්‍රදේශීය ලේකම් කාර්යාලය 341හිම එම සේවාව ලබා ගත හැකි බවත්, ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ, පුහුණු කාර්ය මණ්ඩල විසින් නව තාක්ෂණය යොදා ගනිමින් එම ලියාපදිංචි කිරීම් සිදු කරන බවත් ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රොෂන් ගමගේ පැවසීය.
ජනාධිපති අරමුදලේ සේවාවන් ජනතාව සමීපයටම ගෙන යාම මෙන්ම ලැබිය යුතු අයට නිසි පරිදි එම සේවාව ලබා දීමට මෙමඟින් හැකියාව ලැබෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ සුබසාධන වත්මන් රජයේ ප්‍රතිපත්තියක් බවත්, විදේශගත ශ්‍රී ලාංකිකයන්ට විදේශයන්හි පිහිටි තානාපති කාර්යාල හරහා කාර්යක්ෂම සහ පහසු සේවාවක් ලබාදීමේ අරමුණින් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ තානාපති කාර්යාල මගින් උප්පැන්න, විවාහ හා මරණ සහතික ලබා ගැනීමේ EBMD පහසුකම අද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් දියත් කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එම්.කේ. පද්මනාදන් එහිදී පැවසීය.
දැනට උප්පැන්න, විවාහ හා මරණ සහතික ලබා ගැනීම සඳහා පවතින කල්ගතවන ක්‍රමවේදය වෙනුවට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ තානාපති කාර්යාලය රෙජිට්‍රර් ජනරල් දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට සම්බන්ධ වී එම අවස්ථාවේම සහතිකවල පිටපත් ලබාගෙන, තානාපති කාර්යාලය මගින් ලබා දීමේ වැඩපිළිවෙළ ඒ අනුව අද සිට ක්‍රියාත්මක බව ඔහු වැඩිදුරටත් පැවසීය.
GovPay පහසුකම සැලසෙන රාජ්‍ය ආයතන පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු අද (07) දහවල් 12න් පසු GovPay.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකි බවත්, මෙම ඩිජිටල්කරණ ක්‍රියාවලිය අඛණ්ඩ වැඩපිළිවෙළක් වන අතර එය අවසන් වන්නේ රජයේ සියලුම සේවාවන් ඩිජිටල්කරණයට ලක් කිරීමෙන් පසු බවත් ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ (ICTA) අධ්‍යක්ෂ හර්ෂ පුරසිංහ පැවසීය.