“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියෙහි ධාරිතාව වැඩි කිරීම සඳහා ජපානය විසින් යෙන් මිලියන 300ක (රුපියල් මිලියන 565ක) ප්‍රදානයක් ලබා දීමට කටයුතු කර තිබේ.
මීට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (03) සිදු කර ඇති අතර ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප ඇමති සයමා (ඉකුඉනා) අකිකෝ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන ඊට අත්සන් තබා ඇත.
මෙම ප්‍රදානය මගින් පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය කළමනාකරණයෙහි ධාරිතාව වැඩිදියුණු කිරීම සඳහා කසල ප්‍රවාහනයට කම්පැක්ටර් රථ 28ක් සපයනු ලබන අතර, ඉන් බස්නාහිර පළාතට රථ 14ක්, නැගෙනහිර පළාතට රථ 08ක් සහ උතුරු පළාතට රථ 06ක් බැගින් ලබා දීමට නියමිතය.
වත්මන් රජය ගෙන යන දූෂණ විරෝධී වැඩපිළිවෙළ නිසා ලෝකයේ රටවල ආයෝජන ආකර්ෂණය ශ්‍රී ලංකාව වෙත යොමු වෙමින් තිබෙන බව ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය සයමා (ඉකුඉනා) අකිකෝ මහත්මිය මෙහිදී සඳහන් කර තිබේ. දූෂණ විරෝධී කටයුතු සම්බන්ධයෙන් රජය ගෙනයන වැඩපිළිවෙලට ඉදිරියටත් ජපාන රජයේ සහාය ලබාදීමට කටයුතු කරන බවද උප ඇමති සඳහන් කර ඇත.
ජපාන අගමැතිගේ සුබ පැතුම් පණිවිඩයද උප ඇමති මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත පිළිගන්වා තිබේ.
ජපානය හා ශ්‍රී ලංකාව අතර පවතින දිගු කාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන් කැප වී කටයුතු කිරීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී ජපාන රජය වෙත ස්තුතිය පළ කර ඇත.
වත්මන් රජය විසින් ක්‍රියාවට නංවා තිබෙන දූෂණ විරෝධී වැඩපිළිවෙළ කිසිදු අයුරකින් පළුදු නොකර ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව අවධාරණය කර තිබෙන ජනාධිපති අනුර කුමාර දිසානායක ජපාන රජයේ ආධාර ඇතිව මෙරට ආරම්භ කර අතරමග නැවතුණු සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන්ද ජපාන රජය වෙත ස්තුතිය පළ කර ඇත. එමෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී ජපාන රජය ලබා දුන් සහාය වෙනුවෙන්ද කෘතවේදීත්වය පළ කර තිබේ.
ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විශාල පිරිසකට රැකියා අවස්ථා ලබාදීම පිළිබඳව ජපාන රජය වෙත ස්තූතිය පළ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දී එම අවස්ථා තවදුරටත් වර්ධනය කර ගැනීමට සහාය ලබා දෙන ලෙසත් ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනය නංවාලීම සඳහා ජපාන ආධාර සහිත ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට මැදිහත් වන ලෙසත් ජපාන රජයෙන් ඉල්ලීමක් කර ඇත.
කම්කරු ඇමති හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ජපාන තානාපති අකිඕ ඉසෝමතා (ISOMATA Akio), ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප ඇමතිගේ ලේකම් සයිතෝ ජුන් (SAITO Jun), ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිරිතදිග ආසියානු අංශයේ අධ්‍යක්ෂ මුරොතානි මසකත්සු (MUROTANI Masakatsu), විදේශ ආධාර සැලසුම් අංශයේ II වන අධ්‍යක්ෂ හිරෝසි අකිකෝ (HIROSE Akiko), නිරිතදිග ආසියානු අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉවාසෙ කිචිරෝ (IWASE Kiichiro) යන මහත්ම මහත්මිහු මෙම අවස්ථාවට එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

