විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ෆ්‍රන්චේ හමුවී තිබෙනවා. ඒ, විදේශ කටයුතු අමාත්‍යාංශ කාර්යාලයේදී.

නේවාසික නියෝජිතයන් සඳහන් කර ඇත්තේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවේ බලයට පත් වූ නව රජය පිළිබඳව දැඩි විශ්වාසයෙන් හා බලාපොරොත්තුසහගතව සිටින බවයි. මෙම වර්ෂය තුළ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වැදගත් වැඩසටහන් රැසක් දැනටමත් පෙළගස්වා ඇති අතර ඒ සඳහා ශ්‍රී ලංකාවේ සක්‍රීය සහභාගීත්වය ඔහු ඉල්ලා තිබුණා. ජෛව විවිධත්ව සම්මන්ත්‍රණය, සාගර සමුළුව, කාලගුණ විපර්යාස සමුළුව, සමාජීය සංවර්ධනය පිළිබඳ වූ සමුළුව සහ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ සමුළුව ඒ අතර වනවා. නව රජය විසින් බලාපොරොත්තු වන සැගවුණු වත්කම් සොයාගැනීමේ කාර්යය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආයතනවල සහය ලබා දීමට සූදානම් බව ද නිත්‍ය නියෝජිතවරයා මෙම සාකච්ඡාවේදී විජිත හේරත් අමාත්‍යවරයාට දන්වා තිබෙනවා.

නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමය ගොඩනැගීමේ කොමිසම සමග ශ්‍රී ලංකාව සමීපව කටයුතු කිරීම වැදගත් බව ත් ජාතික ඒකාබද්ධතාවය ඇති කිරීමෙහිලා රජය ගෙනයන වැඩසටහන්වලට සම්පූර්ණ සහාය දීමට සූදානම් අතර ඒ සඳහා මූල්‍ය ආධාර ලබා දීමට මැදිහත් වන බව ද ඔවුන් අවධාරණය කර තිබෙනවා.

මෙරට සමුද්‍ර තීරයේදී බේරාගත් රෝහින්‍යා සරණාගතයින්ට මානුෂික අයුරින් සලකන ලද ආකාරය මාර්ක් ඇන්ඩෘගේ ප්‍රශංසාවට ලක් වී තිබෙනවා. ඔහු සඳහන් කර ඇත්තේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා වසර අවසානයේ ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන බවයි.

පසුගිය මැතිවරණවලදී ශ්‍රී ලාංකික ජනතාව ජාති භේද හෝ පළාත් භේදවලින් තොරව නව රජය විශාල ආසන සංඛ්‍යාවකින් බලයට පත්කිරීම ඓතිහාසික සිදුවීමක් බව විජිත අමාත්‍යවරයා නේවාසික නියෝජිතයන්ට පවසා තිබුණා . උතුරු නැගෙනහිර පළාත්වල පවරාගෙන ඇති ඉඩම් අයිතිකරුවන්ට ආපසු දීම ඉදිරි කාලයේත් කටයුතු කරන බවත් ශ්‍රී ලංකා පොලීසියට බඳවාගැනීමේ දී සියලු ජාතීන් නියෝජනය වන පරිදි බඳවා ගැනීමට රජය පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.