මහ කන්නය සදහා පොහොර සහනාධාරය ලෙස රුපියල් 25,000ක් සහ රතුකුඩු පොහොර නොමිලේ ලබා දීමට රජය කටයුතු කරමින් සිටින බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කරයි.
ඇය මේ බව සඳහන් කළේ ගොවීන් සදහා පොහොර සහනාධාරය ලබා දීමට රජයේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඊයේ (08) පාර්ලිමේන්තු විවාදයේදී මතු වූ ප්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමිනි.
මෙහිදී අදහස් දැක්වූ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය,
“ඒ ඒ දිස්ත්‍රික්ක සඳහා පොහොර සහනාධාරය ලබා දිය යුතු කාල වකවානුව 2024 ඔක්තෝබර් පළවෙනි සිට 2025 පෙබරවාරි පළමුවනදා දක්වායි. ඒ සදහා රුපියල් 25,000ක පොහොර සහනාධාරය රුපියල් 15,000ක වාරිකයක් සහ රුපියල් 10,000ක වාරිකයක් වශයෙන් අදියර දෙකකදී ලබා දීමට කටයුතු කරනවා.
මේ වනවිට රුපියල් 15,000ක පළමු වාරිකය ලබා දීලා තිබෙනවා. ගොවීන්ගේ පොහොර අවශ්‍යතාවය සපුරාලීම සඳහා සාධනීය සහ විධිමත් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට අප රජය කටයුතු කිරනවා. ඒ සඳහා මේ වනවිට ගොවි සංවිධාන මගින් අදහස් ලබා ගනිමින් පවතිනවා.
කුඹුරු ඉඩම්වල වී වගා කරන ගොවීන් සඳහා ලබා දෙන මූල්‍ය සහනාධාරයට අමතරව මියුරියේට් ඔෆ් පොටෑෂ් මෙට්‍රික් ටෝන් 25,239.73ක ප්‍රමාණයක් රජය විසින් නොමිලේ ලබාදීමට මේ වනවිට සැලසුම් කර තිබෙනවා.”