සැප්තැම්බර් 21 වෙනිදායින් පසුව මේ රටට අවශ්‍ය ඉන්ධන, විදුලිය, ගෑස් අඛණ්ඩව සැපයීමේ වගකීම තම පාලනය යටතේ කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු කියන්නේ තම පාලනයක දී නිෂ්පාදනය කළ හැකි සියල්ලක්ම මේ රට තුළ නිෂ්පාදනය කරනු ලබන බවයි.
“සජිත් ප්‍රේමදාස කොහෙද ගිහිල්ලා කියනවා එයා ආවහම බාර් පර්මිට් අහෝසි කරනවලු. මම කියනවා සජිත් ප්‍රේමදාසට ඔයාගේ පක්ෂයේ බාර් පර්මිට් ගත්ත කට්ටිය සේරටම ඉස්සරවෙලා අයින්කරලා පෙන්වන්න කියලා. රනිල්ගෙන් බාර් පර්මිට් ගත්තේ සජබ මන්ත්‍රීවරු. ඒ වගේ වැඩ ඒ ගොල්ලෝ බෙදාගෙන කරන්නේ. පුළුවන්නම් නැහැ කියලා කියන්න. මම ඔප්පු කරලා පෙන්වනවා. රනිල්ට කියලා හන්තානෙන් අක්කර 12 1/2ක් ගන්න අවසර ඉල්ලපු කබීර් හෂීම් ඔබලා දකින්න ඇති. රනිල් වික්‍රමසිංහ ගාවට ගිහිල්ල ඇඹරි ඇඹරි මරික්කාර් කාර් පර්මිට් ඉල්ලන හැටි ඔබලා දකින්න ඇති. මේ ගොල්ලෝ එකට බෙදාගෙන කන අය. මේ ගොල්ලෝ දශක ගණන් පාර්ලිමේන්තුවේ හිටියා. මදිද මේ අය මේ රටටත්, ජනතාවටත් දුන්නු වදය. දැන් ඔයගොල්ලෝ පැත්තකට වෙන්න. මේ රටේ ජනතාවට ගෑස්, විදුලිය, තෙල් අඛණ්ඩව ලබාදීමේ වගකීම ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බාර ගන්නවා.
රනිල් කියනවා ජාතික ජන බලවේගයේ අපි ආවහම ඩොලරය අහස උසට නගිනවලු. රනිල් හිතන් ඉන්නේ ඩොලරය කියන්නේ බැලුමක් කියලාද. රනිල් බැලුම උඩ වාඩිවෙලා ඉන්නවා. එයා නැගිට්ට ගමන් ඒක උඩ යනවා. එහෙමද. අපිට සහතිකයක් තිබෙනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව හැදුණට පස්සේ කාලය තමයි මේ රටට වැඩිම ඩොලර් ඇදී එන කාලය. රනිල් නැවත කියනවා එයා නැති වුණොත් රටට තෙල් එන එක නතර වෙයිලු. තෙල් සැපයුම ඇණහිටියිලු. මොකද; රනිල් කියන්නේ අරාබියේ තෙල් ළිඳවල් තියෙන සුල්තාන් කෙනෙක්ද. රනිල් වික්‍රමසිංහලා කළේ රටින් ඩොලර් පිටට යන ආර්ථිකයක් හදපු එක. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව කරන්නේ ඩොලර් රටට එන ආර්ථිකයක් හදන එක. අපි අනවශ්‍ය දේවල් රටට ගෙන ඒම සඳහා ඩොලර් වැය කරන්නේ නැහැ. හදන්න පුළුවන් හැම දෙයක්ම අපි රට තුළ හදනවා. ඩොලර් උපයන්න පුළුවන් ආර්ථිකයක් අපි හදනවා. බලයට ඇවිත් ඉතාම කෙටි කලකින් අපි මේ රටේ දේශපාලන ස්ථාවරත්වය ගොඩ නඟනවා. ඉන්පසු ආර්ථිකය ගොඩනඟන වැඩපිළිවෙළ පියවරෙන් පියවර දියත් කරනවා. අපි 21 වැනිදා බලය ගන්නේ අන්න ඒ නව යුගයකට මේ රට කැඳවාගෙන යන පරිවර්තනය සඳහායි” බව අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරනවා.