මෙයින් වසර පනස් තුනකට පෙර 1971 අප්‍රියෙල් මාසයේ පස්වෙනිදා මැදියම් රාත්‍රියේ එවක බ්‍රිතාන්‍ය පාලනය යටතේ ඩොමීනියන් රාජ්‍යයක්ව පැවති ලංකාවේ (Ceylon) පළාත් කීපයක පොලිස් මධ්‍යස්ථාන අබියස ඇසුණු වෙඩිහඬත් සමඟ ජනතා විමුක්ති පෙරමුණ (JVP) නමින් වාමාංශික සන්නද්ධ සංවිධානයක් ක්‍රියාත්මකවෙමින් පවතින බව සමස්ත ලෝකය දැනගත්තේය.

අරගලයේ පළමු වෙඩිමුරය එවක බලයේ සිටි ලංකාණ්ඩුවට ඇසුණේ අප්‍රියෙල් 05 දා අලුයම පහයි තිහට ඌව පළාතට අයත් වැල්ලවාය පොලිසියට එල්ල කෙරුණු ප්‍රහාරයකිනි. ‘අප්‍රියෙල් කැරැල්ල’ යන පොදු ව්‍යවහාරයෙන් ද,’අප්‍රියෙල් නැගිටීම’ වැනි යෙදුම් රැසකින් ද දිවයිනේ දේශපාලන ඉතිහාසයට එක්වූ එම අරගලයට මෙම අප්‍රියෙල් මාසයට වසර පනහක් සම්පූර්ණ වෙයි.

1950-60 දශක ආරම්භ වූයේ ලෝක වාමාංශික දේශපාලනයේ කඩඉම් කීපයක් සනිටුහන් කරමිනි. හතලිහ දශකයේ අගභාගයේ මාවෝ සේතුං විසින් නායකත්වය දෙන ලද චීන විප්ලවය ජයග්‍රහණය කරමින් ලෝක සමාජවාදී රාජ්‍ය සිතියමට තවත් රටක් එකතුවිය. සමාජවාදී ලෝකයේ ආශීර්වාදය ඇතිව උතුරු කොරියාව නමින් අලුත් රටක් ලෝක සිතියමට එක්වූ අතර ෆිදෙල් කස්ත්‍රෝගේ නායකත්වයෙන් කියුබානු විප්ලවයේ ජයග්‍රහණය සනිටුහන් විය. ඒ සමඟ ‘වියට්කොං’ ගරිල්ලන්ගේ ඇමෙරිකානු අධිරාජ්‍යවිරෝධී අරගලය ජයග්‍රාහී මට්ටමින් පෙරට යමින් තිබුණේ එක අතකින් බටහිර කඳවුරට ත්‍රාසයක් ද ලෝකයේ විමුක්ති ව්‍යාපාරවලට ආශ්වාදයක් සහ උත්තේජනයක් ද ඇති කරමිනි. හැටේ දශකයේ මුල්භාගයේ දී ළදරු කියුබානු විප්ලවීය ආණ්ඩුවේ අධ්‍යාපන ඇමති චේ ගෙවාරා ලංකාවේ සංචාරයක නිරත වූයේ තරුණ ආකර්ෂණය දිනාගනිමිනි. එම සියලු දේශපාලන ප්‍රවනතා මගින් සමාජගත කෙරෙමින් තිබූ ජනප්‍රිය වචනය ‘විප්ලවය’ වූ අතර එය ලෝකය පුරා බොහෝ සටන්කාමීන්ගේ සහ ”වරප්‍රසාද අහිමි” සමාජ කණ්ඩායම්වල ඇසින් ඔවුන්ගේ ආර්ථික ගැටලු සඳහා ”එකම විසඳුම් මාර්ගය” සහ ඔවුන්ගේ ”ඉල්ලීම” බවට පත්වෙමින් තිබුණි.

ට්‍රොට්ස්කිවාදී ලංකා සම සමාජ පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමඟ සභාග ආණ්ඩුවකට එක්වීමත් සමඟ 1964 දී ගන්නා ලද එම දේශපාලන තීන්දුවත් ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ ගමන්මගෙහි කඩඉමක් තීන්දු කරනු ලැබුණි. එම තීන්දුවත් සමඟ බෙදීගිය ට්‍රොස්ට්කිවාදී දේශපාලන ව්‍යාපාරයේ න්‍යායික ගැටුම කෙළවර වූයේ කුඩා දේශපාලන පක්ෂ කීපයක් බිහිවීමෙනි. මේ අතර චීන-සෝවියට් දේශපාලන මත ගැටුම ලංකාවේ තීන්දු වූයේ ලංකා කොමියුනිස්ට් පක්ෂය ‘මොස්කව් පිල’ සහ ‘චීන පිල’ යන සුප්‍රකට යෙදුම මගින් හඳුන්වන ලද දේශපාලන පක්ෂ දෙකක් ලෙස වෙන්ව යාමෙනි. ඒ අතරම ලංකා සම සමාජ පක්ෂය සහ ලංකා කොමියුනිස්ට් පක්ෂය යන එවක ක්‍රියාත්මකවෙමින් තිබූ වාමාංශික දේශපාලන පක්ෂ විසින් ‘ලාංකික විප්ලවය’ පාවාදෙනු ලැබ ඇතැයි චෝදනා කරමින් ‘ගිනිපුපුර’ සහ ‘පෙරදිග සුළං’ වැනි රහසිගතව සංවිධානය වෙමින් පැවති සන්නද්ධ අරගලය ප්‍රධාන සටන් උපක්‍රමය කරගත් කුඩා වාමාංශික සංවිධාන කීපයක් ද විය. ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන ව්‍යාපාරයක් වශයෙන් බිහිවීමේ බීජ අවස්ථාව දක්නට ලැබුණේ එවැනි දේශපාලන පරිසරයකය.

රෝහණ විජේවීර(වමේ උපැස් යුවලක් පැළඳ ) සහ ලයනල් බෝපගේ අපරාධ යුක්ති විනිශ්චය කොමිසමට රැගෙන ආ අවස්ථාවක්
ඡායාරූප ශීර්ෂ වැකිය,රෝහණ විජේවීර (වමේ උපැස් යුවලක් පැළඳ ) සහ ලයනල් බෝපගේ අපරාධ යුක්ති විනිශ්චය කොමිසමට රැගෙන ආ අවස්ථාවක්

”දේශපාලන ව්‍යාපාරයක්, විශේෂයෙන්ම විප්ලවීය දේශපාලන ව්‍යාපාරයක් කියන්නේ අහඹු දෙයක් නොවෙයි. එය උපත ලබන්නේ පවතින සමාජ-අර්ථ ක්‍රමයේ දිගුවක් හැටියට” ජනතා විමුක්ති පෙරමුණේ පැරණිම සාමාජිකයකු මෙන්ම කලක් එහි ප්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කළ ආචාර්ය ලයනල් බෝපගේ පවසයි.

”ලංකා සම සමාජ පක්ෂය 1964 දී ‘වාමාංශික එක්සත් පෙරමුණ’ කඩා බිඳදමමින් ශ්‍රීලංකා නිදහස් පක්ෂයත් සමග සභාග ආණ්ඩුවකට ගියේ ඒවනවිට වැඩකරන ජනතාව පැත්තෙන් ඉදිරිපත්ව තිබුණ ඉල්ලීම් 21 පාවාදෙමින්. ඒ නිසා පැරණි වම පිටිපස යාමෙන් දේශපාලන විමුක්තියක් නොමැති බව පෙනීගියා. ඒ සමඟ උද්ගත වූ සැබෑ විප්ලවීය දේශපාලන සංවිධානයක උවමනාව තමයි – නව දේශපාලන ව්‍යාපාරයක් බිහිවීමට අවශ්‍ය දේශපාලන පරිසරය සකස්කරන ලද්දේ” ලයනල් බෝපගේ බීබීසී සිංහල සේවය සමඟ පැවසීය,

ලයනල් බෝපගේ පවසන පරිදි රෝහණ විජේවීර විසින් නව විප්ලවීය දේශපාලන ව්‍යාපාරයක් සඳහා සිය කිට්ටු සගයන් සමඟ සාකච්ඡා ආරම්භකරන ලද්දේ 1965 වකවානුවේ පටන්ය. එහෙත් ඒ පිළිබඳව සැලවූ විට එන්.ෂන්මුගදාසන් විසින් තමා නායකත්වය දුන් ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ චීන පිලෙන් විජේවීර නෙරපා හරිනු ලැබීය. අනතුරුව විජේවීර ඒ වනවිට තමා සමඟ කටයුතු කළ නිමලසිරි ජයසිංහ, පියතිලක, කරුණාරත්න සහ විජේසේන විතානගේ ඇතුළු කණ්ඩායමක් සමඟ නව දේශපාලන සංවිධානයක් සඳහා රහසිගතව කටයුතු කරමින් සිටි අතර නිල නාමයක් නොවූ එම සංවිධානය හඳුන්වන ලද්දේ ”ව්‍යාපාරය” යනුවෙනි.

හැත්තෑ එකේ තරුණ පිබිදීම
ඡායාරූප ශීර්ෂ වැකිය,අප්‍රියෙල් නැගිටීමෙන් පසු අත්අඩංගුවට පත් තරුණයන් සමූහයක්

ජනතා විමුක්ති පෙරමුණ රහසිගත ”ව්‍යාපාරයක්” ලෙස එහි ආරම්භයේ පටන්ම විහිද යමින් තිබුණේ තරුණයන් සහ ශිෂ්‍ය ව්‍යාපාරය ඉලක්ක කර ගනිමිනි. මාක්ස්වාදී විශ්ලේෂණය අනුව ‘විප්ලවයේ පුරෝගාමී බලකාය වන්නේ කම්කරු පන්තිය’ වන නමුත් එවක ග්‍රාමීය අර්ධ වැඩවසම් චීනයේ තත්ත්වයන්ට අනුව ”චීන විප්ලවයේ පුරෝගාමී බලවේගය ගොවි පන්තිය” යයි මාවෝ සේතුං විසින් සූත්‍රගත කරනු ලැබ තිබුණි. සිය ලාංකේය දේශපාලනයට මුලපුරමින් එන්.ෂන්මුගදාසන්ගේ නායකත්වයෙන් යුත් කොමියුනිස්ට් පක්ෂයේ චීන පිලෙහි ක්‍රියාත්මක වූ රෝහණ විජේවීරගේ මුල්කාලීන දේශපාලන දර්ශනය තුළ එකී මාවෝවාදී දර්ශනයේ සෙවනැල්ල වැටී තිබූ අතර ඔහුගේ ජනතා විමුක්ති පෙරමුණත් වැඩිවශයෙන් මුල්බැස ගනිමින් සිටියේ ලංකාවේ වියලි කලාපයේ ගොවිජනතාව අතරය.

”මව්බිම නැත්නම් මරණය” වැනි ජනතා විමුක්ති පෙරමුණ විසින් භාවිත කරන ලද ප්‍රධාන සටන්පාඨ මගින් ඔවුන් මාවෝවාදය සමඟ පැවති දේශපාලන නෑදෑකම අවිඥානික මට්ටමින් ප්‍රදර්ශනය කෙරුණු අතර ඔවුන් විසින් ශිෂ්‍ය ව්‍යාපාරය උත්කර්ෂයට නංවන ලද්දේ ”විප්ලවයේ ගිනිසිළුව” ලෙස හඳුන්වා දෙමිනි.

පන්ති පහ

ජනතා විමුක්ති පෙරමුණ සිය සාමාජිකයන් දැනුවත් කිරීම සඳහා රහසිගත මට්ටමින් පවත්වන ලද මූලික දේශන පහකි. පැරණි සාමාජිකයකු විසින් තම සංවිධානයට එකතුකර ගනු ලබන (අලුතින් සාමාජිකයකු බඳවාගනු ලැබීම ‘කොකුගැසීම’ යනුවෙන් හඳුන්වනු ලැබුණි) නවක සාමාජිකයන්ට දැනුම ලබාදීමේ සැලසුමක් අනුව එම පන්ති පහ සකස්කරනු ලැබ තිබුණි. ලංකාවේ ධනේශ්වර ආර්ථික අර්බුදය, නිදහස, ඉන්දියානු ව්‍යාප්තවාදය, ලංකාවේ වාමාංශික ව්‍යාපාරය සහ ලාංකේය විප්ලවයේ උපාය උපක්‍රම සහ ගතයුතු මග යනුවෙන් එම දේශපාලන පන්ති පහ නම්කරනු ලැබ තිබුණි.

එම පන්ති පහ නිර්මාණය කරන ලද්දේ රෝහණ විජේවීර විසින් වන අතර ඔහු විජේසේන විතානගේ හෙවත් සනත් සමඟ එකතුව එය අදහස් මගින් පෝෂණය කරන ලද බව ලයනල් බෝපගේ මෙන්ම අප්‍රියෙල් කැරැල්ලේ දී බදුල්ලේ දිස්ත්‍රික් නායකයා මෙන්ම ”මහ නඩුවේ” විත්තිකරුවකු වන සුනන්ද දේශප්‍රියත් බීබීසිය සමඟ සඳහන් කළේය..

”මේ පන්ති පහෙන් මනාව ලිඛිතව සකස්කරලා තිබුණේ ‘ආර්ථික ආර්බුදය” පන්තිය විතරයි. අනිත් පන්ති දේශපාලන කඳවුරුවල දී පුහුණුව ලද ”සහෝදරවරුන්” විසින් මාතෘකාවට අදාළව විස්තර කරමින් පවත්වාගෙන ගියා” සුනන්ද දේශප්‍රිය පැවසීය.

”පන්ති පහට පදනම් වන්නේ සංවිධානයට අයිති කිරින්ද සහ කලත්තෑව ගොවිපොලවල දී පැවැත්වූ දේශපාලන සාකච්ඡා. විජේවීර සහෝදරයා චීන පිලේ ඉන්නකාලේ රහසිගත මට්ටමින් සම්බන්ධකම් තියාගත්ත සහෝදරවරු ඒවාට සහභාගී වුණා. එම පන්ති පහ ගැන මූලික අදහස් ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ ”සංවර්ධන හඬ” පත්තරේ පළවුණා” ලයනල් බෝපගේ සඳහන් කළේය.

”ඉන්දියානු ව්‍යාප්තවාදය කියන පන්තිය සකස් වුණේ අපි මුල් අවධියේ මාවෝවාදී මතවාදී බලපෑමට ගොදුරුවීමේ ප්‍රතිවිපාකයක් වශයෙන්. චීන-ඉන්දියානු මතභේදය මැද අපේ චීන ලැදියාව එම පන්තියට බලපා තිබුණා. එම පන්තිය ලංකාවේ ජීවත්වෙන ඉන්දීය සම්භවයක් සහිත දමිළ ජනයා සම්බන්ධයෙනුත් වැරදි චිත්‍රයක් මැවෙන මට්ටමින් පවත්වනු ලැබීම දුර්වල කමක් ” ලයනල් බෝපගේ පවසයි.

71 uprising
ඡායාරූප ශීර්ෂ වැකිය,1971 අප්‍රියෙල් මාසයේ අත්අඩංගුවට ගන්නා ලද තරුණ තරුණියන් රඳවා තැබීම සඳහා විද්‍යෝදය සහ විද්‍යාලංකාර සරසවි පවා සිර කඳවුරු බවට පත් කළහ. ගංගොඩවිල විද්‍යෝදය සරසවියේ සිරකර තබා සිටි කණ්ඩායමක්

පන්ති පහට සහභාගී වූ සාමාජිකයන්ගෙන් තෝරාගත් ”සහෝදරවරුන්” කඳවුරු පුහුණුව සඳහා යැවීම ”ව්‍යාපාරයේ” ඊළඟ පුහුණු පියවර විය. වනගතව හෝ ඉතාම ආරක්‍ෂිත ස්ථානයන්හි පවත්වාගෙන ගිය එම පුහුණු කඳවුරුවල දී ‘පන්ති පහට’ අන්තර්ගත කරුණු ගැඹුරින් සහ සවිතරාත්මකව සාකච්ඡා කරනු ලැබුණි. බොහෝවිට ”ව්‍යාපාරයේ” නායකයා වන ”ලොකු මහත්තයාත්” (විජේවීර) එම අධ්‍යාපන කඳවුරුවලට පැමිණ දවස පුරා එක දිගට දීර්ඝ දේශන පැවැත්වීය. ඇතැම් කඳවුරුවල සටන් පුහුණු සැසියක් ද විය. කඳවුරුවල දී අවි ආයුධ පුහුණුව මෙන්ම කරාටේ සහ පොලු හරඹ වැනි සටන් සම්බන්ධයෙන් ද හුරුවක් ලබා දී ඇත. ”ව්‍යාපාරයට” සහයෝගය දුන් ආණ්ඩුවේ සන්නද්ධ හමුදා සාමාජිකයන් ද එම පුහුණුකිරීම් සඳහා යොදාගනු ලැබ තිබුණි.

යටිබිම්ගත දේශපාලන අවසන්වීම

අතිශය රහස්‍ය මට්ටමින් අලුතින් ව්‍යාප්තවෙමින් පවතින විප්ලවකාරී තරුණ සංවිධානයක් පිළිබඳ තොරතුරු එලියට ඒමත් සමඟ ඒ කෙරෙහි යොමුවූ සමාජ කතිකාව දැඩි කුතූහලය මිශ්‍ර වූවක් විය. ඇතැමුන් එය හඳුන්වන ලද්දේ ”චේගුවේරා කාරයන්” යනුවෙනි. එය එවක ආණ්ඩුව විසින්ම සංවිධානය කරන ලද ව්‍යාපාරයක් ලෙස ඉදිරිපත්වූ නිර්වචන ද විය. කොමියුනිස්ට් පක්ෂයේ (මොස්කව් පිල)අනුග්‍රහයෙන් පළකරන ලද ‘ඇත්ත’ පත්තරය එම රහස්‍ය ව්‍යාපාරය විග්‍රහකරනු ලැබ තිබුණේ ”සී.අයි.ඒ. කෙමනක්” යනුවෙනි.

මේ අතර එතෙක් යටිබිම්ගත දේශපාලනයක නිරතවෙමින් සිටි රෝහණ විජේවීර ආරක්‍ෂාව සඳහා හම්බන්තොට ජූල්ගමුවේ ගොවි නිවසක සඟවා සිටියදී පොලිසිය විසින් 1969 වසරේ දී අත්අඩංගුවට ගනු ලැබීම ඔහු නායකත්වය දුන් රහස්‍ය විප්ලවීය ”ව්‍යාපාරය”රටේ ප්‍රධාන සිරස්තලයක් බවට පත්වීමට හේතුවිය.

ඒ සමඟ ”ව්‍යාපාරය” විසින් මුළු රටපුරා එකවර දියත්කරන ලද ”විජේවීර නිදහස් කරනු!” පෝස්ටර් ව්‍යාපාරය සමඟ ”ජනතා විමුක්ති පෙරමුණ” යන නිලනාමය පළමුවරට සමාජගත වූ බව ලයනල් බෝපගේ පවසයි.

”1970 මහ මැතිවරණයේ දී ”ව්‍යාපාරයේ” සහයෝගය ලැබුණේ බණ්ඩාරනායක මැතිනිය නායකත්වය දුන් සමගි පෙරමුණට. විජේවීර සහෝදරයාට උසාවියෙන් ඇප ලැබිල ආවට පස්සේ එවකට විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ දී ඔහුගේ ප්‍රකට දේශනය පැවැත්වුවා.”සී.අයි. ඒ. කාරයෝ” යන මාතෘකාව අනුව පැවැත්වූ එම දේශනයෙන් පස්සේ තමයි -ඒ කියන්නේ 1970 දී- ජනතා විමුක්ති පෙරමුණ කියන පක්ෂ නාමය නිල මට්ටමින් ප්‍රකාශයට පත් කෙරුණේ” ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණ විසින් මුද්‍රණය කොට බෙදාහරින ලද පුවත්පත නම්කරන ලද්දේ ”ජනතා විමුක්ති” යනුවෙනි. රතු ලංකා, රතුබලය, දේශප්‍රේමී සහ රතු කැකුළු වැනි වෙනත් ප්‍රකාශනත් පසුව නිකුත් කරනු ලැබුණි.

ඉන් අනතුරුව 1971 යළිත් පොලිස් අත්අඩංගුවට ගැනෙන තෙක් රෝහණ විජේවීර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන මහජන රැලි අමතමින් රටපුරා සංචාරය කිරීමත් සමඟ ඔහුගේ පූර්ණ යටිබිම්ගත දේශපාලනය නිමවී අර්ධ යටිබිමගත අවධිය ආරම්භ විය.

Rohana Wijeweera
ඡායාරූප ශීර්ෂ වැකිය,ඇතැම් දේශපාලන පක්ෂ පමණක් නොව සමාජයේ ඇතැම් කොටස් විසින් ද රෝහණ විජේවීර ඇතුළු ජවිපෙ සාමාජිකයන් නම්කරනු ලැබ තිබුණේ ”චේ ගුවේරාකාරයන්” යනුවෙනි

ව්‍යාපාරය සන්නද්ධ කරනු ලැබීම

එම අවධිය වනවිට ලංකාවේ වමේ ව්‍යාපාරය තුළ අප්‍රකට මට්ටමින් ක්‍රියාත්මක වෙමින් පැවති වෙනත් කුඩා කණ්ඩායම් මෙන්ම විජේවීරගේ ”ව්‍යාපාරයේ” සැලසුම වූයේ ද ”සන්නද්ධ අරගලයක් මගින් බලයේ සිටින ධනේශ්වරය පෙරලා දමා රාජ්‍ය බලය අත්පත්කර ගැනීම”ය. ඒ සඳහා අවශ්‍ය මනෝමය පදනම ශක්තිමත් කෙරෙන අමුද්‍රව්‍ය ආසියා, අප්‍රිකානු සහ ලතින් ඇමෙරිකානු රටවලින් ලැබෙමින් තිබුණු අතර ඇමෙරිකාවේ කළු ජාතිකයන්ගේ පිබිදීම සහ ප්‍රංශයේ ඩිගෝල් විරෝධී ශිෂ්‍ය ව්‍යාපාරය කෙරෙන් ද ලොවපුරා තරුණ ප්‍රජාව අතර පවතින සම්ප්‍රදායට එරෙහි අභිලාෂය ශක්‌තිමත් කරනු ලැබුණි.

අතිශය රහසිගත මට්ටමින් අලුතින් සංවිධානය කෙරෙමින් පැවති දේශපාලන සංවිධාන මගින් සාකච්ඡාවට ගනිමින් පැවති ප්‍රධාන මාතෘකා වූයේ එම අවධියේ තරුණ පරපුර මුහුණදෙමින් සිටි රැකියා ප්‍රශ්නය සහ ගොවි ජනයාගේ දුක්ඛිත ජීවන ඉරණමයි. විශේෂයෙන්ම වියලි කලාපයේ හේන් ගොවියාගේ ඉඩම් සහ ජල ප්‍රශ්නයේ පටන් ස්වභාෂා මාධ්‍යයෙන් අධ්‍යාපනය ලද තරුණයන් රැකියා නොමැතිව නන්නත්තාරවීම දක්වා ඇති සියලු ගැටලු ‘සමාජ ක්‍රමයේ වරදක්’ ලෙස ඔවුහු විග්‍රහ කළ කළහ. බලයේ සිටින ‘ධනපති පන්තියෙන්’ පමණක් නොව ඔවුන් සමඟ ”ඊනියා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණවාදී දේශපාලනයට” යටවී සහයෝගී දේශපාලනයක නිරතවෙමින් සිටින ‘විප්ලවය පාවාදුන්’ පැරණි වාමාංශික දේශපාලනයෙන් ද ඊට විසඳුමක් නොමැති හෙයින් ”එකම විසඳුම සන්නද්ධ අරගලයක් (විප්ලවය) මගින් අලුත් සමාජ ක්‍රමයක් නිර්මාණය කරගැනීම” බව තරුණ සටන්කාමීහු අවධාරණය කළහ.

ඉන්දුනීසියානු හමුදා පාලනය එරට කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයන් දසදහස් ගණනින් මරා දමමින් මර්දනය කරන ලද අන්දම, විප්ලවීය දේශපාලන පක්ෂයක් ප්‍රතිවිප්ලවයට මුහුණදීම සඳහා සන්නද්ධවීමේ අවශ්‍යතාව පැහැදිලිකිරීම සඳහා රෝහණ විජේවීර විසින් නිරන්තරයෙන් භාවිත කරනු ලැබිණි.

එහෙත් සිය ”ව්‍යාපාරය” සන්නද්ධ කරනු ලැබීම පිළිබඳ, අප්‍රියෙල් නැගිටීම පරාජයට පත්වීමෙන් පසුව රෝහණ විජේවීර විසින් ප්‍රකාශ කරන ලද කරුණු සම්බන්ධයෙන් එහි ඉහළම මට්ටමේ නායකයෝ පවා එකඟ නොවෙති. අවි ආයුධ එකතුකිරීම් තමා නොදැනුවත්ව සිදුව ඇති බවක් ඔහු ප්‍රකාශ කළත් අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව(CJC) තුළ පවා ඒ සම්බන්ධයෙන් දීර්ඝ සංවාද සිදුව ඇත.

”කලින් සංස්කෘතික විප්ලවයක් සිදුකොට එය දේශපාලන අරගලයක් කරා ව්‍යාප්ත කළ යුතුය යන්න විජේවීරගේ අදහස වුණා. ඒ සඳහා සන්නද්ධ විය යුතුය යන්න මුල ඉඳලම ”ව්‍යාපාරය” තුළ තිබුණ ස්ථාවරයක්. එකවරක් ව්‍යාපාරයේ කීපදෙනෙක් ග්‍රනේඩ් බෝම්බයක් අපේ ගෙදරට අරගෙන ආවා. අවි අවබෝධයක් ලබාගන්න ඔවුන්ට එය විවෘත කරලා බලන්න අවශ්‍ය කළා. ඒ කියන්නේ බෝම්බ හැදීමේ සැලසුම. විජේවීර චීන පිලේ වැඩකරද්දී අපේ ගෙදර නිතරම ආවා. වරක් විජේවීර ”ව්‍යාපාරයට” අවශ්‍ය අවි ආයුධ ලබාගන්න පුළුවන් ක්‍රම ගැන අපේ ගෙදර දී අපේ තාත්තා එක්කත් සාකච්ඡා කළා” සුනන්ද දේශප්‍රිය පවසයි.

හැත්තෑ එකේ තරුණ පිබිදීම
ඡායාරූප ශීර්ෂ වැකිය,තරුණයකු අත්අඩංගුවට ගන්නා ලද අවස්ථාවක්

හිටපු ප්‍රධාන ලේකම්වරයකු වන ලයනල් බෝපගේ සඳහන් කරන පරිදි, ජනතා විමුක්ති පෙරමුණ සන්නද්ධ කිරීම ආණ්ඩුවේ මර්දනයත් සමඟ ඊට මුහුණ දීම සඳහා ගනු ලැබූ පියවරකි. අප්‍රියෙල් කැරැල්ලට පෙර 1971 පෙබරවාරි මාසයේ 21 දින කොළඹ හයිඩ්පාර්ක් පිටියෙහි ජනතා විමුක්ති පෙරමුණේ අවසාන ප්‍රචාරක මහා රැළිය පැවැත්වූ අතර එය අමතා කතාකළ රෝහණ විජේවීර ”පොලිස් මර්දනය කවදාද? එදිනට ලාංකික විප්ලවයත් දියත්කෙරෙන” බව අවධාරණයයෙන් කියා සිටියේය. එම කතාවේ එක් තැනක ඔහු ”ගජබා නැවත් අවුරෝරාවක් වේවා”යි කියා සිටි අතර එමගින් ගම්‍ය කරන ලද්දේ ආණ්ඩුවේ සන්නද්ධ අංශවල සහයෝගයත් තමන්ට ඇති බව යයි එම කතාව විශ්ලේෂණය කරන්නෝ පවසති. ‘ගජබා’ යනු ලංකා නාවික හමුදාවේ යුද නෞකාවක් වූ අතර, 1917 ඔක්තෝබර් විප්ලවයේ දී සාර් පාලනයට එරෙහිව පළමු වෙඩිමුරය එල්ල කරන ලද්දේ ‘අවුරෝරා’ නැවෙන් යයි සඳහන් වේ.

”හයිඩ්පාර්ක් රැස්වීම දවසෙම එවකට ආරක්‍ෂක ලේකම් ආතර් රත්නවේල් ප්‍රකාශයක් කරමින්, ‘ජනතා විමුක්ති පෙරමුණ විනාශකර දැමිය යුතු’ බව කියා සිටියා. ඒ සමඟ හදිසි නීතිය පනවනු ලැබුණා. අත්අඩංගුවට ගැනීම්, වදහිංසා සිදුකිරීම් පටන්ගත්තා. පක්ෂයේ පත්තර මුද්‍රණය තහනම් කළා. ගෙවල් ඇතුළේ තියන සාකච්ඡාවලටත් පොලිසිය කඩා පනිමින් අත්අඩංගුවට ගන්න පටන් ගත්තා. මර්දනය දරුණුයි. ඒ තත්ත්වය තුළ අපි අනුගමනය කළේ ”ආරක්‍ෂාව සඳහා ඇති හොඳම උපක්‍රමය සන්නද්ධවීමයි” කියන මාවෝ සේතුං ඉගැන්වීමයි” ලයනල් බෝපගේ සඳහන් කරන්නේ අප්‍රියෙල් මාසය වනවිට උද්ගතව පැවති තත්ත්වය විස්තර කරමිනි.

”ඒ අතරම අපි මර්දනය හමුවේ පසුබැසීමට ආරක්‍ෂිත ගම් පිළියෙළ කිරීමටත් අවධානය යොමුකළා. මමත් ආරක්‍ෂිත ගමක් පිළියෙළ කළා, මාතලේ දිස්ත්‍රික්කයේ ‘අකරහැඩිය’ කියන ගමේ”

අවි ආයුධ සඳහා අවශ්‍ය මුදල් උපයා ගැනීමේ ප්‍රධාන විධික්‍රමය වූයේ පැහැරගැනීම් සහ බැංකු කොල්ලකෑම්ය. එවැනි මුදල් පැහැර ගැනීම් කීපයක් ගැන වාර්තාවී ඇත. රෝහණ විජේවීර සහභාගී වූ ප්‍රධාන රැස්වීම්වලට දහස් ගණනින් ජනතාව සහභාගී වූ අතර විජේවීරගේ කතාව අවසානයේ ඔහුට සවන්දුන් බොහෝ කාන්තාවෝ ඔවුන් පැළඳි මාල කරාබු ආදිය එවෙලේම ගලවා ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් පරිත්‍යාග කළහ. තවත් අය මුදලින් මෙන්ම අත් ඔරලෝසු පවා ගලවා ”විප්ලවය” සඳහා පරිත්‍යාග කරන ලද්දේ පොරකමිනි.

ඒ අතරම නිල් පැහැති නිල ඇඳුමක්, යුදහමුදා පන්නයේ බූට්ස් සහ හේවායකුට ඔබින ඔලගුවක් සූදානම් කරගන්නා ලෙස සටනකට සැරසෙමින් සිටි පක්ෂ සාමාජිකයන්ට උපදෙස් දී තිබුණි.

සුනන්ද දේශප්‍රිය පවසන පරිදි හයිඩ්පාර්ක් රැළියෙන් පසු විජේවීර සියලු දිස්ත්‍රික්කවල පක්ෂ සංවිධාන හමුවීමේ සංචාරයක නිරත වූ අතර එහි අරමුණ වූයේ සන්නද්ධ ශක්තිය අධීක්‍ෂණය කිරීම සහ එය ශක්තිමත් කිරීමය. එම සංචාරය අතරවාරයේ මාර්තු 13 දින අම්පාරේ දී රෝහණ විජේවීර සහ ඔහු සමඟ සිටි කෙලී සේනානායක පොලිස් අත්අඩංගුවට ගනු ලැබුණි.

රෝහණ විජේවීර පෙළපාලියක

‘එක්දින විප්ලවය’ සහ පස්වෙනිදා ප්‍රහාරයේ තීන්දුව ගත්හැටි

”විප්ලවීය අරගලය” දියත්කරනු ලැබීමේ සටන් උපක්‍රමය ජනතා විමුක්ති පෙරමුණ අභ්‍යන්තරයෙහි සාකච්ඡාවට ගැනෙමින් තිබුණේ එහි මුල් යුගයේ පටන්ය. අභ්‍යන්තර මතභේද හේතුවෙන් පසුව ”ව්‍යාපාරයෙන්” කැඩී ගිය සාමාජිකයකු වූ, චීන විප්ලවය, කස්ත්‍රෝගේ අරගල න්‍යාය සහ වියට්නාම් විප්ලවය ගුරු කරගත් ජී.අයි.ඩී.ධර්මසේකරගේ ස්ථාවරය වූයේ ”මූල කඳවුරු න්‍යාය”ලංකාවේ ද ක්‍රියාත්මක කළ හැකි බවය.

”එහෙත් සුල්තාන් පාලනය පෙරලා දමමින් අබ්දී කරුමේ බලයට පත් 1964 ජනවාරියේ සැන්සිබාර්හි ‘එක්දින විප්ලවය’ කෙරෙහි විජේවීරගේ අවධානය යොමු වෙමිනුයි තිබුණේ. සැන්සිබාරයේ සිදුවුණේ එක දවසකින් සියලු පොලිසිවලට පහරදී බලය අල්ලා ගැනීම. එම එකවර ප්‍රහාරක උපක්‍රමය ලංකාවට උචිත බවයි විජේවීරගේ ස්ථාවරය වුණේ” සුනන්ද දේශප්‍රිය සහ ලයනල් බෝපගේ පැවසූහ.

”පස්වෙනිදා රෑ එකොළහට ප්‍රහාරය එල්ල කරන තීන්දුව ගත්තේ – අප්‍රියෙල් 02දා ගංගොඩවිල එවකට විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ භික්ෂු නේවාසිකාගාරය වන ‘සංඝාරාමයේ’ දී. එතකොට විජේවීර රඳවා සිටියේ යාපනය බන්ධනාගාරයේ. දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන් නවදෙනෙක් (විජේවීර හැර) එදා තීරණාත්මක සාකච්ඡාවට සහභාගී වුණා. සනත් – පියතිලක-බෝපගේ-උයන්ගොඩ-නිමලසිරි ජයසිංහ (ලොකු අතුල) – රන්ජිත්-සුනන්ද-සුසිල් වික්‍රම- සහ කරුණාරත්න ඇතුළු නවදෙනෙක්. දීර්ඝ සාකච්ඡාව අවසානයේ ගත්ත තීන්දුව වුණේ පස්වෙනිදා රාත්‍රි එකොළහට පොලීසි ඉලක්ක කරමින් ප්‍රහාරය එල්ලකළ යුතු බවයි” සුනන්ද දේශප්‍රිය පවසයි.

මර්දනය උත්සන්නව පවතින තත්ත්වය යටතේ ප්‍රහාරය දියත් කරන ලෙස යාපනයේ බන්ධනාගාරයේ සිට රෝහණ විජේවීර ලාල් සෝමසිරි නම් පාක්‍ෂිකයකු අත පණිවුඩයක් එවා තිබූ බව ජනතා විමුක්ති පෙරමුණේ එදා නායකයන් රැසක් ප්‍රකාශ කර ඇත. තමා මුදා ගැනීම සඳහා පන්සීයක කණ්ඩායමක් යාපනයට එවන ලෙසත් විජේවීර එම පණිවුඩය මගින් දැනුම්දුන් බව අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාවට ඉදිරිපත්වූ සාක්ෂි මගින් කියැවෙයි..

එහෙත් එවැනි පණිවුඩයක් එවන ලද බවට කෙරෙන ප්‍රකාශය රෝහණ විජේවීර විසින් බැහැර කරනු ලබන්නේ යයි පවසන ලයනල් බෝපගේ සඳහන් කළේ, ආරක්ෂක විධිවිධාන තරකර ඇති හෙයින් කොළඹ අගනුවර ප්‍රහාරය සාර්ථක කරගැනීම දුෂ්කර බව තමා සහ උයන්ගොඩ පෙන්වා දුන් බවය.

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘවරයා සහ අප්‍රියෙල් පස්වෙනිදා ප්‍රහාරය සඳහා නියෝග දී තිබෙන්නේ රෝහණ විජේවීර බව එම ප්‍රහාරය සම්බන්ධයෙන් විභාග කළ අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව විසින් තීන්දු කරනු ලැබ ඇත.

”කොළඹ තිබුණේ ‘මාර්ෂල් ලෝ’ තත්ත්වයට සමාන ආරක්ෂක වැඩ පිළිවෙලක්. මමත් උයන්ගොඩත් එම තත්ත්වය විස්තර කළත් පස්වෙනිදා ප්‍රහාරය එල්ල කරන්නට දේශපාලන මණ්ඩලය තීන්දු කළා”

Sirimavo
ඡායාරූප ශීර්ෂ වැකිය,1971 අප්‍රියෙල් 05 රාත්‍රියේ බණ්ඩාරනායක අගමැතිනියගේ රොස්මීඩ් නිවස ආක්‍රමණය කොට ඇය ජීවග්‍රහයෙන් පැහැරගෙන යාමේ සැලැස්මක් හෙළිවූයෙන් අගමැතිවරිය ඇයගේ නිල නිවස වූ අරලියගහ මැදුරට ගෙන ගොස් තිබුණි

වැල්ලවායෙන් සටන ඇරඹෙයි

විද්‍යෝදය සංඝාරාමයේදී පහරදීමේ තීන්දුව ගත් දේශපාලන මණ්ඩල සාමාජිකයන් ඔවුන් යටතේ සිටි ප්‍රාදේශීය නායකයන් ද ඔවුන් හරහා පොලිස් කොට්ඨාස භාර නායකයන් ද දැනුවත්කිරීම සඳහා ඔවුනොවුන්ට භාර දිස්ත්‍රික්ක බලා ගමන් ගත්හ. ජංගම දුරකථන වැනි පහසුකම් නොවූ එම අවධියේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන මෙන්ම විශ්වසනීය සන්නිවේදන මාර්ගය වූයේ පුද්ගලයන් අතින් පණිවුඩ යවනු ලැබීමේ (Courier) සම්ප්‍රදායයි.

නායකයන් විසින් අප්‍රියෙල් 05 දින රාත්‍රී එකොළහට පොලිස් මධ්‍යස්ථාන ඉලක්කකොට පහරදීමට සැලසුම් කරමින් සිටියදී අප්‍රියෙල් පස්වෙනිදා උදෑසන ගුවන්විදුලි ප්‍රවෘත්ති ප්‍රකාශය සමඟ ආණ්ඩුව සහ මහජනයා පමණක් නොව ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් පවා විශ්මයට පත්විණි. එමගින් කියැවුණේ පස්වෙනිදා උදෑසන 5.30ට වැල්ලවාය පොලිසියට ප්‍රහාරයක් එල්ලවූ අතර එම ප්‍රහාරයේ දී පොලිස් භටයන් දෙදෙනකු මරණයට පත් වූ බවය.

”වැල්ලවාය ප්‍රහාරය සිදුවුණේ කොහොමද කියල හිතාගන්න බැහැ. සමහරවිට සන්නිවේදනයේ අඩුපාඩුවක් වෙන්නත් පුළුවන්. නමුත් එම ප්‍රහාරයට තීන්දුව ගත් ප්‍රාදේශීය නායකයාත් එම සටනේදී මරණයට පත්වීම නිසා ඇත්තටම සිදුවුණේ කුමක්ද කියල කියන්න අමාරුයි” ලයනල් බෝපගේ පවසයි.

සැලසුම් කරන ලද පරිදි සෙසු පොලිස් මධ්‍යස්ථානවලට පහර එල්ල කෙරුණේ රාත්‍රි එකොළහේ නියෝගය අනුවය.

ජනතා විමුක්ති පෙරමුණේ සටන්කාමීහු පස්වෙනිදා මැදියම් රැයෙහි දිවයින පුරා පොලිස් මධ්‍යස්ථාන 92කට පහරදුන්හ. ඉන් පනස් හතකට අධික පොලීසිවලට හානි සිදුකළ අතර රාජාංගනය, ඌරගහ, කතරගම, දෙනියාය සහ වරකාපොල පොලිසි පහ යටත්කර ගැනීමට සමත්වූහ.

ඇල්පිටිය ප්‍රදේශය සතියක කාලයක් ජවිපෙ පාලනය යටතට පත්වූ අතර ප්‍රහාරයට ලක්වූ පොලීසි ඉවත් කරගනු ලැබීමෙන් පසු එවැනි තවත් ප්‍රදේශ කීපයක් ද ඔවුන් අතට පත්විය.

ප්‍රහාරය මැඩලීමට ජාත්‍යන්තර ආධාර

අප්‍රියෙල් හයවෙනිදා උදෑසන වනවිට ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණ තහනම් සංවිධානයක් ලෙස ප්‍රකාශයට පත්කරමින් ප්‍රතිප්‍රහාර එල්ල කරමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ආරම්භකළ අතර ”රාජ්‍යවිරෝධී ත්‍රස්තවාදී කැරැල්ල මැඩලීම සඳහා” ජාත්‍යන්තර ආධාර ඉල්ලා සිටියේය. ඒ අනුව අසල්වැසි ඉන්දියාව, පාකිස්ථානය මෙන්ම රුසියාව, චීනය සහ එක්සත් රාජධානිය වැනි රටවල් සෘජුව යුද්ධාධාර සැපයීමට ඉදිරිපත් විය.

මුලදී පොලිස් වටලෑම් මගින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ආරම්භ කෙරුණු අතර ආරම්භයේදීම නායක මට්ටමේ චරිත ඇතුළු සැකකරුවන් පන්දහසකට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව ඇත. ඒ සමඟ තීන්දුවක් ගත් ආණ්ඩුව ”ජනතා විමුක්ති පෙරමුණ විසින් නොමග යවන ලද” තරුණයන්ට සන්නද්ධ හමුදාවන්ට භාරවීම සඳහා කාලයක් ලබාදුන් අතර බන්ධනාගාර වාර්තා අනුව 16,000ක පමණ පිරිසක් රජයට භාරවී තිබුණි.

ඉන් අනතුරුව ද දිවයිනේ පළාත් කීපයක පැවති සටන් පිළිබඳ වාර්තාවූ නමුත් මසක් ඇතුළත ‘අප්‍රියෙල් නැගිටීම’ සම්පූර්ණයෙන් පරාජය කිරීමට ආණ්ඩුවේ සන්නද්ධ හමුදා සමත්වූහ.

(BBC සිංහල)