පසුගිය 15 වනදා ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ලන්ඩන් හි දී ජන හමුවක් පැවති අතර එහිදී එරට වෙසෙන ලංකිකකයෝ අනුර දිසානායකගෙන් නැගූ ප්‍රශ්න සහ ඊට ඔහු ලබා දුන් පිළිතුරු පහතින් දැක් වේ.
ප්‍රශ්නය: අකාර්යක්ෂම සහ නිලධාරීවාදයෙන් පිරුණු රාජ්‍ය සේවය කාර්යක්ෂම ජනතා මිතුරු රාජ්‍ය සේවයක් බවට පත්කිරීමේ අභියෝගය ජාතික ජන බලවේගය භාර ගන්නේ කොහොමද ?
පිළිතුර: රාජ්‍ය සේවයක් අපේ රටට අත්‍යවශ්‍යයි. අපේ රාජ්‍ය සේවය මුළුමනින්ම කඩා වැටී තිබෙනවා. රාජ්‍ය සේවය ලබාදීම සඳහා දරන වියදම් ප්‍රමාණයයි බර. අධ්‍යාපනය, සෞඛ්‍යය, බරක් නොවෙයි. ඒ සේවය ලබාදීම සඳහා වන පිරිවැය බරක් වී තිබෙනවා. දේශපාලන මැදිහත්වීම විසින් ආයතන සේවකයන් පුරවා බිඳවට්ටවා තිබෙනවා. ඔබට අපි සහතිකයක් දෙන්නම්, අපි කිසිසේත්ම ඥාති සබඳතා මත, දේශපාලන සබඳතා මත රාජ්‍ය සේවය මෙහෙය වන්නේ නැහැ. ඒ සේවයේ නියුතු වන්නේ ඒ ක්ෂේත්‍රය පිළිබඳව අත්දැකීම් තිබෙන, නිපුනතාවයක් තිබෙන විෂය පිළිබඳ වූ විශේෂඥයින් විසින් තමයි ඒවා මෙහෙය වන්න ඕනෑ. සෑම රාජ්‍ය ආයතනයකට පත් කරනු ලබන්නේ, එම ක්ෂේත්‍රය පිළිබඳ නිපුනතාවය, හැකියාව තිබෙන කණ්ඩායම් පමණයි.
බඳවා ගැනීම්, උසස්වීම්, මාරුවීම් දේශපාලනය මත සිදුවන්නේ නැහැ. අපි ඕනෑම දේශපාලන පක්ෂයකට අභියෝග කරනවා ප්‍රසිද්ධ රැස්වීමකදී කියන්න කියලා “අපගේ මෙම රැස්වීමට සහභාගී වීම, රජයේ සේවයේ රැකියාවක් ලබා ගැනීමට සුදුසුකමක් නොවේ” කියා. අපි ඒක කියනවා. කඩාකප්පල් ක්‍රියාවන් කිරීම සඳහා පිරිස් ඉන්න පුළුවන්. ඒ සඳහා තමයි බලය තිබෙන්නේ. බලය උපදින්නේ ව්‍යවස්ථාවෙන් නොවෙයි. බලය උපදින්නේ මහජනතාවගෙන්. අපට ජනතාව කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සඳහා බලය ලබාදෙනවා. ව්‍යවස්ථාවෙන් ලබාදෙන්නේ බලය ක්‍රියාත්මක කිරීමේ සීමාව. ජනතාවගෙන් අපට ලැබී තිබෙන බලය ජනතාවගේ අපේක්ෂාවන් ඉටුකර ගැනීම සඳහා යොදවන්න බය වෙන්නේ නැහැ. රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න පුහුණු වැඩසටහන් වැනි තවත් බොහෝ දේවල් කරන්න ඕනෑ.
ප්‍රශ්නය: එන්.පී.පි. රජයක් යටතේ බුද්ධාගමට සැලකිලි අඩුවෙන බවට පැතිර යන කතා සම්බන්ධයෙන් ස්ථාවරය මොකක්ද?
පිළිතුර: අපේ විරුද්ධවාදී කණ්ඩායම් අපට එරෙහිව අසත්‍ය සහ අවලාද මට්ටමේ තොරතුරු යැවීම ඔවුන්ගේ කාර්ය බවට පත්කර ගෙන තිබෙනවා. ආගමට අනුව ජීවත් වෙන්නේ ජාතික ජන බලවේගයේ අපි විතරයි. ඔවුන් කරනු ලබන ඒ ප්‍රකාශය අසත්‍යයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තියේ බෞද්ධාගම සඳහා ලබාදී තිබෙන ප්‍රමුඛතා කිසිසේත්ම අහෝසි වෙන්නේ නැහැ. 2015 සිට 2019 දක්වා ලංකාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදීම සඳහා සාකච්ඡාවක් තිබුණා. ඒ සාකච්ඡාවේ මූලිකත්වය දැරුවේ අග්‍රාමාත්‍යවරයා හැටියට රනිල් වික්‍රමසිංහ මහතායි. ඒ සාකච්ඡාවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය වෙනස් කිරීම පිළිබඳව සාකච්ඡාවක් නැගුණේ නැහැ. හැම දෙනාම 9 වැනි වගන්තිය පිළිගනිමින් සාකච්ඡාව කළා. ඒ නිසා මේ හදන්නේ අනියත බියක්. 9 වැනි වගන්තියට අත තබන්නේ නැහැ. අත තැබීමේ වුමනාවක් දෙමළ දේශපාලන නායකයන්ටවත් නැහැ.
ප්‍රශ්නය: දෙමළ සහ මුස්ලිම් ජනතාවට සමාන අයිතිවාසිකම් තහවුරු කිරීමේ වැඩපිළිවෙළ කුමක්ද?
පිළිතුර: අපි බලය ගන්නේ මොන අරමුණකින්ද? බලය ගන්නේ දෙමළ, මුස්ලිම් ජනතාවට එරෙහිවද? නැහැ. අපි සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව එකතුවෙලා ජාතික සමගිය නිර්මාණය කර ගැනීම සඳහායි බලයයි ගන්නේ. අපි බලයට එනවා කියන්නේම බොහෝදුරට ජාතිවාදය පරාජය වෙනවා. ජාතිවාදය එලෙසම පැවතුණොත් අපි බලයට එන්නේ නැහැ. එතනින් එහාට තිබෙන ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය මොකක්ද? අපි පිළිගන්නවා දෙමළ භාෂාව කතා කරන ජනතාවත් පොදුවේ ජනතාව මුහුණ දෙන ගැටලුවලට මුහුණ දෙනවා. දෙමළ භාෂාව කතා කරන නිසාම මුහුණ දෙන ඔවුන්ට අනන්‍යවූ ගැටලු ප්‍රමාණයකුත් තිබෙනවා. පොදු ප්‍රශ්න විසඳීම සඳහා අපට සැලැස්මක් තිබෙන්න ඕනෑ. අධ්‍යාපනය, සෞඛ්‍යය, කෘෂිකර්මය සඳහා දරන්නට සිදුවන වියදම, උතුර, දකුණ, නැගෙනහිර ඇතුළු සැමටම තිබෙන පොදු ප්‍රශ්නයි. ඒවා විසඳිය යුතුයි.
එසේම දෙමළ ජනතාවට තමන්ගේ මව් භාෂාවෙන් රාජ්‍යයත් සමග ගනුදෙනු කරන්න පුළුවන්ද? සෑම පුරවැසියෙකුටම තමන්ගේ භාෂාවෙන් රාජ්‍යයත් සමග ගනුදෙනු කිරීමේ අයිතිය තහවුරු විය යුතුයි. ව්‍යවස්ථාවේ එය තිබුණාට ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපි ඒ අවස්ථාව සලසා දෙනවා. හැම පුරවැසියෙකුටම තමන්ගේ ආගම නිදහසේ ඇදහීමේ අවශ්‍ය වන පරිසරය නිර්මාණය කරනවා. ආගම යනු තමන්ගේ විශ්වාසයයි. ඒ වගේම විවිධ සංස්කෘතික අනන්‍යතාවයන් තිබෙනවා. හැම කෙනාගේම සංස්කෘතික අනන්‍යතාවය, ගෞරවය පිළිගන්න රාජ්‍යයක් අපි නිර්මාණය කරනවා. පොදු ජනතාවට එකට සමරන්න පුළුවන් උත්සව අවස්ථා අපි හදන්න ඕනෑ.
ප්‍රධාන ප්‍රශ්න ගැටගැහෙන්නේ බලය බෙදීමත් එක්ක. පළාත් සභා මේ පවතින ආකරයෙන් පවත්වාගෙන යනවා. අපි දේශපාලන විසඳුමක් ලෙස පළාත් සභා පිළිගන්නේ නැහැ. දෙමළ ජනතාවත් මුස්ලිම් ජනතාවත් හිතනවා, පළාත් සභා තමන් විසින් දිනා ගන්නා ලද අයිතියක් ලෙසට. පළාත් සභා අහෝසි කරනවා නම් ඔවුන් හිතන්නේ ඔවුන් දිනා ගන්නා ලද අයිතියක් පැහැර ගැනීමක් ලෙසයි. එවට නැවත අනවශ්‍ය ගැටුමක් නිර්මාණය වෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව සමගිය නිර්මාණය වනතෙක්, ශ්‍රී ලාංකේය ජනතාව නිර්මාණය කරමින්, නව ව්‍යුහයන් හඳුනා ගන්නා තෙක් පළාත් සභා මේ ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. නමුත් ස්ථිර විසඳුම තිබෙන්නේ එතන නොවෙන බව අපි විශ්වාස කරනවා.
විශේෂයෙන් කඳුකරයේ ජීවත් වෙන ජනතාව ගැන අවධානය යොමුකොට තිබෙනවා. පසුගිය දිනවල කඳුකර ජනතාව වෙනුවෙන් ප්‍රකාශනයක් අපි ඉදිරිපත් කළා. ඔවුන්ගේ නිවාස ප්‍රශ්න, අධ්‍යාපන ප්‍රශ්න වැනි ප්‍රශ්න ගණනාවක් ඔවුනට තිබෙනවා. ඔවුනට අනන්‍යවූ ප්‍රශ්න තිබෙනවා. ශ්‍රී ලාංකේය ජනතාවක් නිර්මාණය කරනවා කියන්නේ ඔවුන්ගේ අනන්‍යතාවය අහෝසි කිරීම නොවෙයි. ඒ අයගේ අනන්‍යතාවයට ගරු කරමින්, පිළිඅරගනිමින්, එකතු වීමයි. උතුරේ ජනතාව ජනාධිපති ඡන්දයේදී දකුණේ නායකයෙකු තෝරා ගන්නේ නම් එන්.පී.පී. එක් නායකත්වය තෝරා ගනියි කියා, මම විශ්වාස කරනවා. අපි ගොඩනගන්න යන රාජ්‍යය ඔක්කෝටම සෙවණක් දෙන කුඩයක් බවට පත්කර ගන්නවා. ජාතික ජන බලවේගයේ කැබිනට් මණ්ඩලය හැදීමේදී අපේක්ෂා කරන්නේ උතුර, දකුණ, නැගෙනහිර සියලු දෙනාම නියෝජනය කරන කැබිනට් මණ්ඩලයක් හැදීමයි. අපි උතුරේ ජනතාවගෙන් අහනවා උතුරට වෙනම පාලනයක්ද අවශ්‍ය, රටේ පාලනයේ පංගුකරුවන් වීමද අවශ්‍ය කියලා. වඩාත් සුදුසු වන්නේ උතුරෙත්, නැගෙනහිරත් නායකයන් රටේ පාලනයේ පංගුකරුවන් වීමයි. අපට තිබෙන්නේ ජාතික ගැටලුව අවම කරගෙන ජාතික සමගිය නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය ආරම්භක පියවර තබමු.
ප්‍රශ්නය: සමහර ඡන්ද දායකයන් ඡන්ද ප්‍රතික්ෂේප කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න බව, සමීක්ෂණවලින් පෙන්නුම් කරනවා. ඒ අයගේ ඡන්ද ලබා ගැනීමට ඔබ ගන්නා වැඩපිළිවෙළ කුමක්ද?
පිළිතුර: පාවෙන ඡන්ද දායකයා දිනන පැත්තට පාවෙනවා. අපට ප්‍රජාව ඇතුලේ අපට දිනන්න පුළුවන් කියන එක ශක්තිමත්ව තහවුරු කරන්න හැකිද? ඒ තරමට ඡන්ද දායකයා අපේ දිසාවට එනවා. ඒ වගේම ඕනෑම වෙලාවක සියල්ලම අපට එයි කියා විශ්වාස කරන්න එපා. ඕනෑම මිනිස් සමාජයක වෙනස් විදිහට දකින අය ඉන්න පුළුවන්. නමුත් ප්‍රවණතාවය මේ පැත්තට හැරුණොත් මේක ජයග්‍රහණය දක්වා යනවා.
ප්‍රශ්නය: ඔබලාගේ උසස් අධ්‍යාපනය සම්බන්ධව තිබෙන සංකල්පය මොකක්ද? විදේශීය විශ්වවිද්‍යාල ලංකාවට එන්න උත්සාහ කරන කොට, එවා නැවැත්තුවා. ඒ නිසා අපට ලොකු ආදායමක් නැතිව ගියා. ගොඩක් අයට ලංකාවේ ඉගෙන ගන්න නැතිව පිටරට යන්න සිදුවුණා. ඒක නවත්තලා අපි කොහොමද රටක් හැටියට වෙනත් රටවල අය ලංකාවට ගෙනත් අධ්‍යාපනය ලබාගැනීමට තිබෙන වැඩපිළිවෙළ මොකක්ද?
පිළිතුර: අපේ ආර්ථිකය ගොඩනැගීමේදී, පෞද්ගලික විදේශීය අධ්‍යාපනය ආයතන කැඳවලා ආර්ථිකය ගොඩනගන්න පුළුවන් කියන මිථ්‍යාවේ නැහැ. ඉන්දියාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල ගණනාවක් තිබෙනවා. 2022දී 71,000ක් උසස් අධ්‍යාපනය සඳහා ඉන්දියාවට පැමිණ තිබෙනවා. ඉන්දියාවෙන් එළියට ගිහින් තිබෙනවා ලක්ෂ 11ක්. බි්‍රතාන්‍යයට අධ්‍යාපනය සඳහා 82%ක් එන්නේ මෙහි නතර වීම සඳහායි. මෙහෙට එන පාර තමයි, අධ්‍යාපනය හැදෑරීම. කිසිදු දරුවෙක් අනාරක්ෂිත රටකට අධ්‍යාපනය සඳහා යවන්නේ නැහැ.
අධ්‍යාපනයේ අලුත් දැනුම නිර්මාණය වෙන්නේ බටහිර. ඒ නිසා අලුත් දැනුම සොයාගෙන යන්න තිබෙන්නේ බටහිරට. ඒ නිසා බටහිරට යන ප්‍රවණතාවය වැඩියි. පෞද්ගලික අධ්‍යාපන ආයතන ආරම්භ කර විදේශ විනිමය උපයා ගැනීමට නම්, මීට වඩා අපේ රට සුරක්ෂිත රටක් බවට පත්විය යුතුයි. අපේ රට අනාරක්ෂිත රටක් බවට පත්වෙලා තිබියදී විදේශීය සිසුන් එන්නේ නැහැ.
අධ්‍යාපනය රජයේ වගකීමක්. අපේ පාලනයකදී රාජ්‍ය අධ්‍යාපනය පවතිනවා. නියාමනයට පත්කරන ලද උසස් අධ්‍යාපනය පවතිනවා. විදෙස් අධ්‍යාපනයත් පවතිනවා. යම් දරුවෙකුට අවශ්‍ය නම් පෞද්ගලික අධ්‍යාපනය හදාරන්න, ඒ සඳහා නියාමනයට ලක්කරන ලද අධ්‍යාපනය ලබාගත හැකියි. යම් දරුවෙකුට විදෙස් ගත වී අධ්‍යාපනය හැදෑරීමට අවැසි නම් ඔහුට ඒ සඳහා ඉඩ හිමිවෙනවා.
ප්‍රශ්නය: ලංකාවේ තිබෙන මූලික ප්‍රශ්නයක් ලෙස අවංකත්වය සහ වගවීම අන්තිම දුබල තත්වයෙන් තිබෙනවා. ඔබ පැහැදිලි කළා ලංකාවේ නීතියේ ආධිපත්‍යය බිඳවැටී තිබෙන බව. එය ගොඩනැගීම සඳහා ඔබලා විසින් විශ්වාසය තහවුරු කිරීමෙන් ආරම්භ කරනවා නම් හොඳයි. ඒ සඳහා නීති විරෝධී ලෙස ලබාගන්නා ලද වාහන පර්මිට්, අපගේ ටැක්ස් මුදල් අපට නැවත ලබාදෙන්න කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා. අනෙක, බලය බෙදාහැරීම යටතේ ඔබලාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම ප්‍රමාද කිරීම තුළින්, ප්‍රතිපත්තියක් නැති බව ප්‍රකාශයට පත්වෙනවා. ඒ සඳහා ඔබලාගේ විසඳුම කුමක්ද?
පිළිතුර: අපේ ආණ්ඩුකරණයේ ප්‍රධාන ප්‍රශ්නයක් තිබෙනවා. ආණ්ඩුකරණය තුළ වගවීමක් නැහැ. ජනතාව සහ අපි අතර තිබෙන සම්මුතිය මොකක්ද? අපි ජනතාවට කියනවා, මේ දේවල් අපි කරනවා. ඒ සඳහා ඔබ අපට ඡන්දය ලබාදෙන්න කියලා. අපි අතර තිබෙන සමාජ ගිවිසුම තමයි එය. ඡන්ද කියන්නේ දේශපාලන ව්‍යාපාර සහ පුරවැසියා අතර තිබෙන සමාජ ගිවිසුමක්. ඡන්ද දායකයාගේ වගකීම කතිරය ගසා ඉවරයි. දෙන ලද එකඟතාවයන්ට වගවීම ආණ්ඩු පාර්ශ්වයේ වගකීමයි. දේශපාලකයා තුළත් ජනතාව තුළත් එවැනි වගවීමක් ගැන සඳහනක්වත් නැහැ. ජනාධිපතිවරුම කියා තිබෙනවා, “ඔය මැතිවරණ ප්‍රකාශ ඒ කාලෙදි කියන ඒවනේ” කියලා. ඒ කියන්නේ වගවීමක් නැහැ.
පාස්කු ප්‍රහාරය ගැන වගවෙන්නේ කවුද? ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක් ලබාදුන්නා. පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා ඒ වෙලාවේ සේනාධිනායකයා හැටියට, ආරක්ෂාව බාර අමාත්‍යවරයා හැටියට තමන්ගේ වගකීම හරිහැටි ඉටුකළේ නැහැ කියා මිලියන 100ක වන්දියක් ගෙවන්න හිටපු ජනාධිපතිවරයාට සිදුවුණා.
තවත් නඩු තීන්දුවක් ලැබුණා. මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, පී.බී. ජයසුන්දර, අජිත් නිවාඩ් කබ්රාල් කණ්ඩායමට එරෙහිව. ජනතාවට වගවෙන්න ඕනෑ. ආර්ථිකය නිසි පිරිදි කළමනාකරණය කරගනිමින් ඉදිරියට ගෙනයාමේ වගවීමක් තිබෙන්න ඕනෑ. ඔවුන් වගකීම ඉටු කළේ නැහැ කියා ශ්‍රේෂ්ඨාධිකරණය ඔවුන් වැරදිකරුවන් බවට පත් කළා. දේශපාලන නඩු තීන්දු දෙකකින් පෙන්වනවා දේශපාලකයා, මහජනතාවට මොනතරම් ප්‍රමාණයකින් වගවෙන්න ඕනැද කියන එක. මහජනයාගේ ආරක්ෂාව පිළිබඳ වගවීමක් ජනාධිපතිවරයාට තිබෙනවා. ආර්ථිකය බිඳවැටීමට ඉඩනොදී පවත්වාගෙන යාමට වගවීමක් තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු දෙකක් නොලැබෙන්න කිසිවෙක් දේශපාලකයා, ජනතාවට වගවෙන්න ඕනෑ කියා හිතන්නේ නැහැ. අපේ පාලනයකදී පවතින ව්‍යුහය ඇතුලෙදි වගවිය යුතු කෙනා ඒකට වගවෙන්න ඕනෑ. වගනොවෙනවා නම් ඊට ගත යුතු ක්‍රියාමාර්ග ආයතනවල රෙගුලාසි ඇතුලේ සඳහන් වෙනවා. ඒ අනුව අපි කටයුතු කරනවා.
පසුගිය දිනෙක අපි ඉංජිනේරු සමුළුව තිබ්බා. එහිදී ඉංජිනේරු ක්ෂේත්‍ර පහක ප්‍රතිපත්ති අපි ඉදිරිපත් කොට තිබෙනවා. ඊට කලින් සංචාරක කර්මාන්තය පිළිබඳ ප්‍රතිපත්ති ඉදිරිපත් කළා. මේ 29වැනිදා ලංකාවේ මෙතෙක් සිදු නොකළ පර්යේෂණ සහ සංවර්ධන සමුළුවක් සූදානම් කොට තිබෙනවා. ලෝකය ඉස්සරහට යන්නේ පර්යේෂණ සහ සංවර්ධන ක්‍රියාවලිය මත. එක කාලයක් වැඩිම කාලතුවක්කු අයිතිකාරයා තමයි ලෝකය පාලනය කළේ. ඊට පසු කාලයේ ලෝකය පාලනය කළේ වැඩිම මූල්‍ය බලය තිබෙන කෙනා. අද අලුත් අදියරකට ඇවිත් තිබෙනවා. ලෝකය ඉස්සරහට පාලනය කරන්නේ වැඩිම තාක්ෂණ හිමිකරුවා. එක්සත් ජනපදය තමන්ගේ අයවැය ලේඛනයෙන් පර්යේෂණ සහ සංවර්ධන සඳහා වෙන්කොට තිබෙනවා ඩොලර් බිලියන 533ක්. අපේ මුළු අපනයන ආදායම ඩොලර් බිලියන12යි.
ජුනි 29වැනිදා පවත්වන සමුළුවේදී පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වනවා. මැතිවරණය ආසන්න වෙනකොට අපේ සමස්ත මැතිවරණ ප්‍රකාශය ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.
ප්‍රශ්නය: අපේ රටේ ජාතික ළමා ආරක්ෂණය විශාල ප්‍රශ්නයක් වී තිබෙනවා. එය වසර කිහිපයක් තිස්සේ වර්ධනය වෙමින් යනවා. ශ්‍රී ලංකා පොලීසියේ බරපතළ අපරාධ වාර්ෂික වාර්තා අනුව ළමා අපයෝජන වැඩිවෙලා තිබෙනවා. ජාතික ජන බලවේගය යටතේ ලාංකේය දරුවන්ට ව්‍යවස්ථාපිත විශේෂත්වයක් ලබාදෙනවාද? ජපානය, සැම්බියාව වැනි රටවල් ජාතික ආරක්ෂාවේ කේන්ද්‍රය බවට ළමා ආරක්ෂණය පත්කොට තිබෙනවා. ළමා ආරක්ෂණය කියන්නේ කායික ආරක්ෂාව පමණක් නොවෙයි. අධ්‍යාපනය, සෞඛ්‍යය, දිළිඳුකම තුරන් කිරීම යන සියලු සමස්තයන්ගේ එකතුවක්. ඒ අනුව ජාතික ජන බලවේග රජයක් යටතේ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවේ කේන්ද්‍රය ලෙසට ළමා ආරක්ෂණය පත්කරනවාද? ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ මීළඟ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක පත්වුණොත් ඔබ අපේ දරුවන්ගේ අභිවෘදධිය සහ ආරක්ෂාව වෙනුවෙන් ගන්නා මුල් පියවරවල් මොනවාද? ජාතික ජන බලවේග රජයක් පත් වුණොත් ගන්නා මුල් පියවරවල් මොනවාද?
පිළිතුර: ව්‍යවස්ථාවෙන් රැකවරණය දරුවන්ට සහ ස්ත්‍රියට ලබාදෙනවා. ඒ දෙකම අපි ඇතුළත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ජාතික ආරක්ෂාවේ කේන්ද්‍රය දරුවන් බවට පත්වෙනවා වෙනුවට පුරවැසියන්ගේ ආරක්ෂාවේ කේන්ද්‍රය දරුවන් බවට පත්වෙනවා. පුරවැසියන්ගේ සමස්ත ආරක්ෂාවේදී ප්‍රධාන කොට සලකන්නේ දරුවන්ගේ ආරක්ෂාවයි. ඒ පිළිබඳ අවශ්‍ය වෙන ක්‍රියාමාර්ග ගන්න අපි සූදානම්.
අපේ පළමු පියවර තමයි සෑම දරුවෙකුටම කන්න දෙන එක. අපේ රටේ අවුරුදු පහට වඩා අඩු දරුවන්ගේ මන්දපෝෂණය ආසන්න වශයෙන් 21%ක් පමණ වෙනවා. අවුරුදු පහට වඩා අඩු දරුවන් පස්දෙනෙක් ගත්තොත් එක දරුවෙක් මන්දපෝෂණයෙන් පෙළෙනවා. ඒ දරුවන්ගේ අයිතිවාසිකම්, ආරක්ෂාව වැනි ප්‍රශ්නවලට වඩා ප්‍රමුඛයි ‘ආහාර.’ ඒ නිසා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිව සඳහන් කොට තිබෙනවා, පුරවැසියන්ගේ ආහාර, සෞඛ්‍යය, අධ්‍යාපනය අපි තහවුරු කරනවා.
දෙවන පියවර ලෙස, දරුවන්ගේ ආරක්ෂාව සඳහා තිබෙන ආයතනයන්වල ප්‍රතිසංස්කරණයක් කළ යුතුයි. සමහර ආයතන යම් ලේබල් ගසා ගැනීම සඳහා තිබෙනවා. එම ආයතන කාර්යක්ෂම කොට මෙහෙය විය යුතුයි.
තුන්වැනිව පොලීසිවල ළමා අපරාධ පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ ඒකකයක් ස්ථාපිත කළ යුතුයි. වයස අවුරුදු පහේදි, හතේදි අපයෝජනයට ලක්වෙන දරුවාගේ නඩුව අහන්නේ අවුරුදු 22දි, 23දි. එය කිසිසේත් සාධාරණ නැහැ. මේ අපරාධ පිළිබඳ කඩිනමින් පරීක්ෂණ කොට නීතිය පසිඳලීම සඳහා වේගවත් යාන්ත්‍රණයක් ස්ථාපිත කරනවා.
ප්‍රශ්නය: දේශපාලකයන් වරින් වර පැත්තෙන් පැත්තට විකිණෙන එක. ඔබගේ රජයක් යටතේදි මේක නවත්වනවාද? විකෘති තත්වයක් ඇති වෙන්නත් හේතුව මෙයම තමයි.
පිළිතුර: 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විට 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා අපි යෝජනා කිහිපයක් ඉදිරිපත් කළා. එක යෝජනාවක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර පැත්ත මාරු කරනවා නම් මන්ත්‍රී ධුර අහෝසියි කියන වගන්තිය. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මුල් සංශෝධනයේ මේ වගන්තිය තිබුණා. පාර්ලිමේන්තුවේ නීිතියක් සම්පාදනය වෙන විට කාරක සභා අවස්ථා එනවා. කාරක සභා අවස්ථාවේ දිනේෂ් ගුණවර්ධන නැගිටලා කිවුවා මේක ඉවත් කරන්න කියලා. ඒ අවස්ථාවේ අධිකරණ ඇමති ලෙස මෙය ඉදිරිපත් කළේ විජේදාස රාජපක්ෂ. විජේදාස රාජපක්ෂ එකඟ වුණා. ඒ වගන්තිය තිබුණා නම් විජේදාස රාජපක්ෂටත් අවස්ථා ගණනාවකදි මන්ත්‍රී ධුරය නැතිවෙලා යනවා.
දේශපාලකයා මේ පැත්ත මාරුකිරීමේ ප්‍රශ්නය අපි ගැඹුරින් කල්පනා කරනවා. මේක දේශපාලන පාදඩකරණය වෙලා. මෑතක නඩු තීන්දුවක් ආවා. මුස්ලිම් කොංග්‍රසයේ නසීර් අහමඩ්ට පැත්ත මාරුකිරීම හේතුකොට ගෙන මන්ත්‍රී ධුරය අහෝසි වුණා. හැබැයි හරීන් ප්‍රනාන්දුගේ සහ මනුෂ නානායක්කාරගේ නඩුව අහලා ඉවරයි. තීන්දුව දෙන්න ප්‍රමාද වෙලා තිබෙන්නේ. කවුරු ජනාධිපති වුණත් පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. පැත්ත මාරු කිරීම සම්බන්ධ අධිකරණ තීන්දු ලබාදීම් මීට පෙරත් තිබුණා. 1993 පමණ ලලිත් ගාමිණී අයින් වුණු අවස්ථාවේ මන්ත්‍රීවරු අටදෙනෙක් අයින් වුණා. මන්ත්‍රී ධුර අහෝසි වුණා. තවත් ව්‍යවස්ථාවේ නීති අවශ්‍ය නම් ඒක කරමු. දැනටත් නඩු තීන්දුවක් ලබාදී තිබෙනවා පැත්ත මාරු කිරීම නිසා මන්ත්‍රී ධුර අහෝසි වෙන බවට.
ප්‍රශ්නය: ඔබතුමාගේ ජීවිත ආරක්ෂාව
පිළිතුර: අපි කටයුතු කරන්න ඕනෙ ජනතාවත් එක්ක. ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වෙන්නත් ඕනෑ. ලාබෙට ජීවිතය දෙන්න ඕනෑත් නැහැ. ඊට සරිලන වැඩපිළිවෙළක සිටිමින් අපි වැඩ කරනවා.
ප්‍රශ්නය: තානාපති සේවය තානාපති නිලධාරීන්ගෙන් පමණක් පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙනවාද? එහෙම නැතිනම් තානාපති සේවයට දේශපාලන නිලධාරීන් පත්කිරීමට බලාපොරොත්තු වෙනවාද?
පිළිතුර: විදෙස් සේවාවන් පිළිබඳව ප්‍රශ්නයේදි, ඒ සඳහා අධ්‍යාපනය හදාරපු, ඒ සඳහාම පුහුණු කරන ලද කණ්ඩායමක් ඉන්නවා. ඒ අය පිළිබඳව අපි වැඩි ප්‍රවණතාවයක් දක්වනවා. සමහර සමාජීය අත්දැකීම් තිබෙන අය එවීමේ වරදක් නැහැ. මෙතන තිබෙනවා ප්‍රශ්නයක්. නාවලගේ බෙනට් කුරේ රෝමයට යන්නේ කොහොමද? ජාලිය වික්‍රමසූරිය ඇමෙරිකාවේ තානාපති කෙනෙක් වුණේ කොහොමද? සීසෙල්ස්වලට ශිරන්තිගේ මල්ලි යන්නේ කොහොමද? රුසියාවට උදයංග වීරතුංග යන්නේ කොහොමද? සාමාන්‍යයෙන් තානාපතිවරයෙකුගේ ධුර කාලය අවුරුදු තුනයි. උදයංග වීරතුංගට හයක් වෙන්නේ කොහොමද? එවැනි දේශපාලන පත්වීම් නම් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් විසින් කරන්නේ නැහැ. අපේ තානාපති සේවය අපි අලුත් වෙළඳපොළවල් සොයන දිසාවට යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අවස්ථාවේදී වාණිජමය හැකියාවන් තිබෙන කණ්ඩායම් තානාපති සේවයේ යෙදවීමට සමර්ථයන් වනු ඇතැයි අපි සිතනවා. රටේ අවශ්‍යතාවයත් එක්ක සම්බන්ධ කරගෙන තමයි අපි තානාපති සේවයේ පිහිටුවන්නේ.
ප්‍රශ්නය: අපේ වැනි කුඩා රටවල් දියුණු වෙලා තිබෙන්නේ නිෂ්පාදන ආර්ථිකයක් තුළ නොවෙයි. සේවා ආර්ථිකයක් තුළින්. අධ්‍යාපනය, මූල්‍ය සේවා, විකුණන්නත් බැරි නම් සේවා නිෂ්පාදනය සඳහා ඔබතුමන්ලාට තිබෙන වැඩපිළිවෙළ මොකක්ද?
පිළිතුර: ඔබ කියන සේවා ආර්ථිකයක් තිබෙන සෑම රාජ්‍යයකම නිෂ්පාදන පංගුවකුත් තිබෙනවා. අපි කුඩා රටක්. සේවා ආර්ථිකයේ පංගුවක් තිබෙනවා. අපට අයි.ටී. ක්ෂේත්‍රයේ විශාල සේවා අවස්ථාවක් නිර්මාණය කර ගත හැකියි. නාවික ක්ෂේත්‍රයේ සේවා අවස්ථාවන්හි විශාල පංගුවක් අත්පත් කරගත හැකියි. මූල්‍ය වෙළඳපොළේ අපට හබ් එකක් බවට පත්කර ගත හැකියි. නමුත් අපට අවශ්‍ය බිත්තර ආනයනය නොකර නිෂ්පාදනය කර ගත හැකියි. කොවිඩ් වසංගතයෙන් පසුව අපට බල කළා අඩුම තරමින් තමන්ට අවශ්‍ය මූලික දේවල්වත් තමන් නිෂ්පාදනය කර ගත යුතුයි කියන අලුත් සංකල්පයක් ගොඩනැගුණා. එතනදි කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමේ දිසාවට අපට යන්න සිදුවෙනවා. එතනට අපි යන්න ඕනෑ. අපේ ඛනිජ සම්පත් මත අපට ආර්ථික ප්‍රභවයන් තිබෙනවා. එතනට අපි යන්න ඕනෑ. අධිතාක්ෂණික ඉලෙක්ට්‍රෝනික උපකරණවලට මාකට් එකේ අවස්ථාවක් තිබෙනවා. එතනට අපි යන්න ඕනෑ. එවැනි ක්ෂේත්‍ර ගණනාවක් අපි තෝරාගෙන තිබෙනවා. අපේ අපේක්ෂාව අපි නිෂ්පාදනයට යන්නෙ කොතනටද කියන එක හඳුනාගෙන, කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළව නව පරිවර්තනයක් සිදුකිරීම සහ සේවා පංගුවක් නිර්මාණය කිරීමයි.
ප්‍රශ්නය: ව්‍යවස්ථාවේ වගන්තියක් තියෙන බව කියනවා. අවුරුදු 5 අවුරුදු 6ක් දක්වා දීර්ඝ කර ගෙන ඉන්න පුළුවන්ද? උතුරු නැගෙනහිර සුළු ජාතික ඡන්ද දිනා ගැනීමට ඔබට වැඩපිළිවෙළක් තිබෙනවාද?
පිළිතුර: 83 වගන්තියේ තියෙනවා ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු හය ඉක්මවන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනමත විචාරණයකින් මිස වෙනස් කළ නොහැකියි කියලා. 19 වැනි සංශෝධනයේදී මේ වගන්තිය වෙනස් වුණේ නැහැ. හැබැයි ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු පහයි යනුවෙන් ඉතා පැහැදිලිව තිබෙනවා. මේ වගන්තිය කිසිසේත්ම රනිල් වික්‍රමසිංහට උපයෝගී කර ගන්න බැහැ. එහෙම නම් කළ හැක්කේ දැන් නීතිය සම්මත කරලා ඊළඟ එන ජනාධිපතිවරයෙකුට විතරයි. ඒ නිසා 83 වගන්තියෙන් රිංගා යන්න කිසිම ඉඩක් නැහැ.
ඊළඟට උතුර පිළිබඳ ප්‍රශ්නයේදි අපි දකින්නේ, ජයග්‍රහණය සඳහා දෙමළ ඡන්ද අවශ්‍යයි කියන පදනම මත නොවෙයි. අපි ආණ්ඩුවක් හදන්න ඕනෙ උතුර, දකුණ, නැගෙනහිර සියලුම ජනතාවගේ විශ්වාසය මත. අපි දකුණෙන් විතරක් ජයග්‍රහණය කරනවා නම් ඒකෙන් පෙන්වන්නේ උතුරේ ජනතාව අප කෙරෙහි විශ්වාසයක් තබා නැති බවයි. මේ පරිවර්තනය කරන්න නම්, නැගෙනහිර, උතුර, දකුණ, කඳුකර ජන ප්‍රජාවන්ගේ සහාය අපට අවශ්‍යයි. අපි උතුරේ වැඩ කොටසක් කරමින් ඉන්නවා. තරුණ පරම්පරාවගේ නැගිටීමක් තිබෙනවා. නැගෙනහිර මුස්ලිම් ජනතාවගේ විශාල ප්‍රවණතාවයක් තිබෙනවා. උතුරත්, දකුණත්, නැගෙනහිරත් සියලුම ජනතාවගේ විශ්වාසය දිනාගත් ආණ්ඩුවක් බවට පත්කර ගැනීම තමයි අපේ අපේක්ෂාව. එය කේන්ද්‍රකරගෙන අපි එම ප්‍රදේශයන්හි පුළුල් වැඩ ගණනාවක් ආරම්භ කර තිබෙනවා.
ප්‍රශ්නය: ඔබතුමාගේ රජයක් යටතේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ගොවියන්ගේ ප්‍රශ්නවලින් ඔවුන් මුදාගෙන යම් මට්ටමකට ගන්න තිබෙන ප්‍රතිපත්තිය මොකක්ද?
පිළිතුර: අපේ කෘෂිකර්මාන්තයේ තිබෙන ප්‍රධාන ගැටලුව සැලසුම් සහගත කෘෂි නිෂ්පාදනයක් නැතිකම. ලෝකයේ ඕනෑම නිෂ්පාදනයක් මාර්කට් එකට එන්නේ දත්ත, තොරතුරු මතයි. අපේ කෘෂිකර්මාන්තය තිබෙන්නේ දත්ත, තොරතුරු මත නොවෙයි, ඉවට. සැලසුම් සහගත කෘෂිකර්මාන්තයක් අපට නැහැ. අපේ පළමුවැනි ප්‍රයත්නය වන්නේ සංවිධිතව නිෂ්පාදනයක් මාර්කට් එකට එන පරිදි සංවිධානය කිරීමයි. ශක්තිමත් වගා සැලැස්මක් තුළ බීජ, යෙදවුම්, තාක්ෂණය, ඇසුරුම්කරණය, ගබඩාකරණය, වෙළඳපොළ, පසු අස්වැන්නේ නාස්තිය වළක්වා ගැනීම, නව බීජ ප්‍රභේදයන් හඳුන්වාදීම ආදී ක්ෂේත්‍ර ගණනාවක අලුත් පර්යේෂණයන්, අලුත් ක්ෂේත්‍ර අවශ්‍යයි. ඒ පිළිබඳ සලකා බලමින් අපේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය සකස්කොට තිබෙනවා.