ජනාධිපතිවරණය පිළිබඳව අවිනිශ්චිතතාවයක් දෙගිඩියාවක් සැකයක් සාංකාවක් රට තුළ නිර්මාණය කළ බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පවසනවා. මීට පෙර ජනාධිපති ඡන්දෙට කල් තිබියදී ඊට කලින් ජනාධිපතිවරණය පැවැත් වූ බවයි ඔහු කියන්නේ.

“ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මහජනයාගේ ආණ්ඩුවක් සඳහා පොදු ජනතාව එකට එකතු වෙලා තිබෙනවා ඒ පිළිබඳව පාලක පංතිය කලබලවෙලා තිබෙනවා. ජනාධිපතිවරණ ඡන්දය නොතියා ඉන්න ගත් පියවරයන්, සාකච්ඡා දැන් අවසන් වෙලා තිබෙනවා. ජූලි මාසේ 17දා වන විට මැතිවරණ කොමිසමට බලය එනවා ජනාධිපති ඡන්දය ප්‍රකාශයට පත්කරන්න, නාම යෝජනා කැඳවන්න, ඡන්ද දිනය තීන්දු කරන්න. ඡන්දය වැළැක්වීම සඳහා ගත් පියවරයන් සියල්ල අසාර්ථක වෙලා තිබෙන්නේ.

දැන් ඒගොල්ලන්ගේ ඊළඟ පියවර වෙලා තිබෙන්නේ ඡන්දයට මුහුණ දීලා, ජයග්‍රහණය කිරීමට කුමන්ත්‍රණ දියත් කිරීම. ජනතාව සංවිධානය කරමින්, ජනතාවට ආමන්ත්‍රණය කරමින් ඡන්ද ව්‍යාපාරයක් දියත් කරන්න රනිල් වික්‍රමසිංහ අද අපොහොසත් වෙලා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ ඇතුළු කණ්ඩායමක් අද උත්සාහ දරමින් මාලිගය ඇතුලේ කුමන්ත්‍රණ දියත් කරමින් ඉන්නවා. අපි හොරණ මහජන ක්‍රීඩාංගණයේ ජනතාව අමතමින් ඉන්නවා. රනිල් වික්‍රමසිංහ මාලිගාව ඇතුලේ හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, මයන්ත, කාවින්ද එක්ක කතා කරමින් ඉන්නවා. තැන තැන ඉන්න කණ්ඩායම් එක තැනකට ගෙනත් මැතිවරණයට මුහුණ දීම සඳහා සැලසුම් හදමින් ඉන්නවා. උඩ කරන මාලිගා කුමන්ත්‍රණවලින් ජනතාවගේ නැගිටීම ආපසු හරවන්න බැරි බව තමයි මේ හොරණ ජනතාව ඒකරාශී වීමෙන් පෙන්නුම් කරන්නේ.

දැන් රනිල් වික්‍රමසිංහ කඳවුර, සජිත් ප්‍රේමදාස කඳවුර, ජාතික ජන බලවේගය නියෝජනය කරන කඳවුර ලෙස කණ්ඩායම් තුනක් ජනාධිපතිවරණයට මුහුණ දීම සඳහා පෙළ ගැසී සිටිනවා.

සජිත් ප්‍රේමදාසට ජනාධිපතිවරණයට තරග වදින්න තිබෙන එකම සුදුසුකම එයාම කියන ආකාරයෙන්, එයා ප්‍රේමදාසගේ පුතාවීම පමණයි. සජිත් පේමදාස ජනාධිපති පේමදාසගේ පුතෙක් නොවුණා නම්, මොනවගේ වේවිද? එයා හොරණ නගර සභාවේ මන්ත්‍රීකමකටවත් සුදුසු කෙනෙක් නොවෙයි. දැන් සජිත් ගැන කතා කරනවා, එයාගෙම පක්ෂයේ සභාපති සරත් ෆොන්සේකා. සජිත් කිව්වා එයාලගේ ආණ්ඩුවේ හොරකම් අල්ලන්න වැඬේ බාර දෙන්නේ සරත් ෆොන්සේකාට කියලා. අද ආණ්ඩුව හදන්න කලින්ම ෆොන්සේකා හොරෙක් අල්ලලා තියෙනවා. කැසිනෝ සල්ලි එන හැටි ගැන කිව්වා. ඒ නිසා සජිත්ගේ කඳවුර ගැන තවදුරටත් කතා කිරීමෙන් පලක් නැහැ.

හැබැයි රනිල්ගේ කඳවුර ගැන කතා කළ යුතුයි. ජනතාවගේ නැගිටීම මුළුමනින්ම පාවාදීලා, ජනතා අපේක්ෂාවන් මුළුමනින්ම විනාශයට පත්කරලා, පැරණි විනාශකාරී ගමනේම මේ රට ඇදගෙන යන්න කැස කවන්නේ රනිල් වික්‍රමසිංහ කඳවුර යි. පසුගියදා පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ගෙනත් තමන්ට අයවැයෙන් වෙන්කරපු මුදල්වලට අමතරව කෝටි 875ක් වෙන්කර ගන්නවා. කාලය තව මාස දෙකයි. අත්තලම එයා ගහල යන්න තිබෙන බල්බ් එකක්. රනිල් වික්‍රමසිංහ සැලසුම්කර තිබෙනවා මහජනතාවගේ ධනය මුළුමනින්ම තමන්ගේ ඡන්ද ව්‍යාපාරයට යොදවන්න. දකුණේ ආණ්ඩුකාරවරයා අලුත් පත්වීම් ගණනාවක් දීලා තිබෙනවා. හිටපු ප්‍රාදේශීය සභාවේ සභාපතිවරුන්ට ආණ්ඩුකාරවරයාගේ සම්බන්ධීකරණ තනතුරක්. ගොඩක් සභාපතිවරු පළාත් පාලන ඡන්දේ අපේක්ෂකයන්. ඡන්දෙදි ඒ අය ආණ්ඩුවේ මුදල් වියදම් කරන්නේ කොහොමද, ව්‍යාපෘතිවලට යොදවන්නේ කොහොමද, ඒ ව්‍යාපෘතිය හදන්නේ කොහොමද, ඒවට මැදිහත් වෙන්නේ කොහොමද, කොන්ත්‍රාත් දෙන්නේ කාටද, තමන්ට ගානක් ගන්නේ කොහොමද, ඒකට දැන් ලක්ෂ්මන් යාපා හිටපු සභාපතිවරු පත්කර තිබෙනවා. මහජනයාගේ ධනය තමන්ගේ හෙන්චයියන් හරහා මැතිවරණ ව්‍යාපාරයට යෙදවීම සඳහා රනිල් කටයුතු කරමින් තිබෙනවා.

මහජනයාගේ ධනය උපයෝගී කරගෙන රනිල්ට පක්ෂ කණ්ඩායම්වලට විශේෂ මුදල් ප්‍රතිපාදන වෙන්කරමින් ඒ අය තමන්ගේ පැත්තට බිලීබාගන්න උත්සාහ කරනවා. විමධ්‍යගත අරමුදල්වලින් කෝටි 120ක් විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු 19 දෙනෙකුට දුන්නා. රිෂාඞ් බදුර්දීන්, චම්පික රණවක, හර්ෂ ද සිල්වා, අජිත් මාන්නප්පෙරුම, මයන්ත දිසානායක, කාවින්ද ජයවර්ධන, ජේ.සී. අලවතුවල මේ ආදී කණ්ඩායමට දී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහජනයාගේ ධනය නාස්තිකරමින් ඉන්නවා. රනිල්ට ගමේ එක්සත් ජාතික පක්ෂයේ ශාඛා සමිතියක් නැහැ. ආසන සංවිධායකයෙක් නැහැ. ඒ හින්දා රනිල් ආණ්ඩු පක්ෂයේ ඉන්න අයටත්, ආණ්ඩු පක්ෂයේ නැති, තමන් තෝරාගත් මන්ත්‍රීවරුන්ටත් බාර් ලයිසන් දීලා, පෙට්ට්‍රල් ෂෙඞ්වල ලයිසන් දීලා මන්ත්‍රීවරුන්ගේ සහාය ගන්න උත්සාහ කරනවා. සජිත් ප්‍රේමදාස මෑත කිව්වා ‘මෑත කාලයේ බාර් ලයිසන් දීපු සියලුම බාර්වල ලයිසන් කැන්සල් කරනවා’ කියලා. මම සජිත් පේමදාසගෙස් එකක් අහනවා ‘ඔයාට කියන්න පුළුවන්ද ඔයාගේ පක්ෂයේ කිසිවෙක් බාර් ලයිසන් ගත්තේ නැහැ’ කියලා.

රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දි, ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලට, රටේ මූල්‍ය ආයතනවලට මුදල් විනය ගැන කතා කරනවා. මුදල් විනය ගැන කතා කරන රනිල් වික්‍රමසිංහ මහජනතාවට බදු ගහලා, දුෂ්කර තත්වයන් යටතේ මහජනයා ඒවා දරාගෙන එකතු කරගත් ධනය තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයක් වෙනුවෙන් යොදවන්න සැලසුම්කර තිබෙනවා. මේ මොහොතේ රනිල් කරන දේ බැලුවත් රනිල් වික්‍රමසිංහ පරාජය කළ යුතුම යි” අනුර කුමාර දිසානායක මහතා පවසනවා.