ශ්‍රේෂ්ඨාධිකරණය මුළු රටේම ජනතාවට බලපාන විශේෂ නඩු තීන්දුවක් ලබා දුන් බව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ නීතිඥ සුනිල් වටගල පවසනවා. එය ඓතිහාසික නඩු තීන්දුවක් බවයි ඔහු කියන්නේ.
“ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු ඇතුළු පංචපුද්ගල මණ්ඩලයක් විසින් ලබා දුන් නඩු තීන්දුව වූයේ පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස නියෝග කිරීමයි. ජාතික ජන බලවේගයේ හරිනි අමරසූරිය මන්ත්‍රීවරිය, සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා සහ වෛද්‍ය නිහාල් අබේසිංහ යන තිදෙනා පසුගිය වසරේ මාර්තු 9 වැනිදා පවත්වන්නට තිබුණු පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහි නඩුවේ පෙත්සම්කරුවන් වූවා. 2023 මාර්තු 17 වැනිදා පැවරූ මෙම නඩුව වාර අටක් කැඳවූවා. පංචපුද්ගල මණ්ඩලයක් විසින් තර්ක දින 15ක් ගත කිරීමෙන් පසුව පිටු 75කින් ලබා දී තිබෙන තීන්දුවේ හරය වන්නේ, විධායක ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (සී) වගන්තියට අනුව බැඳී සිටින නෛතික වගකීම ඉටු කර නැති බවයි. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා ඔහුට ව්‍යවස්ථාපිත බැඳීමක් තිබෙන බව එහි අවධාරණය කරනවා. නඩු තීන්දුවේම විධායක ජනාධිපතිවරයා සඳහන් කළ ‘ඡන්දය තියන්න සල්ලිත් නෑ. සල්ලි තිබුණත් ඡන්දයකුත් නෑ’ කියන ප්‍රකාශය ඇතුළත් කර තියෙනවා. තීන්දුව ලියලා තිබෙන්නේම මේ ප්‍රකාශය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (සී) වගන්තිය පදනම් කරගෙනයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ස්ථාපනය කර තිබෙන ප්‍රමුඛතම නීතිය මූලික අයිතිවාසිකම් රැකීම පිළිබඳවයි. ඒ වෙනුවෙන් වගන්ති 4ක් වෙන් කර තිබෙනවා.
මේ වගන්ති අතුරින් 12(1) වගන්තිය උල්ලංඝනය කර ඇති බව තීන්දුවේ සඳහන්. එහි සරල අර්ථය සෑම දෙනාම නීතිය ඉදිරියේ සමාන බවයි. එම සිද්ධාන්තය රනිල් වික්‍රමසිංහ උල්ලංඝනය කර ඇති බව තීන්දු කර තිබෙනවා. ඒ වාගේම 14(1)(අ) වගන්තිය අනුව මිනිසුන්ට තිබෙන භාෂණයේ හා ප්රකාශනයේ නිදහසත් උල්ලංඝනය කර ඇති බව මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මැතිවරණ වගන්තිත් උල්ලංඝනය කර ඇති බව තීන්දු කළා. විධායක ජනාධිපති සහ මැතිවරණ කොමිෂන් සභාව මේ සම්බන්ධයෙන් වැරැදිකරුවන් කර තිබෙනවා. මේ මඟින් ලක්ෂ 171කගේ ඡන්ද අයිතිය උල්ලංඝනය කර තිබෙනවා. විධායකයකුට ඡන්ද තියන්න සල්ලි නෑ කියලා ප්‍රකාශ කළ නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කර තිබෙනවා. නඩු තීන්දුවේ තිබෙන වැදගත්කම එයයි. රනිල් වික්‍රමසිංහ අවස්ථා කිහිපයකදීම අධිකරණය සමඟ ගැටී පළාත් පාලන මැතිවරණය නිශ්චිත දිනයේදී නොපැවැත්වීම ඔහුගේ ජයග්‍රහණයක් වශයෙන් සලකා ක්‍රියා කළා. ඔහු පොල් සංවර්ධන මණ්ඩලයේ දී අධිකරණ විනිශ්චයකාරවරුන්ට බලපෑම් කළත්, ගරු විනිසුරුතුමන්ලා බය වුණේ නැහැ. ඊට පස්සේ මහියංගනයේ පවත්වන ලද ඔප්පු බෙදා දීමේ උත්සවයක දී අධිකරණයේ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට බව කීවා. ඒත්, ශ්‍රේෂ්ඨාධිකරණය බය වුණේ නැහැ. ඒ වාගේම පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දුන් අතුරු නියෝගය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට ප්‍රේමනාත් සී. දොලවත්ත මන්ත්‍රීවරයා යොදවා ගනිමින්, අධිකරණ තීන්දුව දුන් විනිසුරුවරුන් තිදෙනා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට ගෙන එන ලෙස ඉල්ලා සිටියා. ශ්‍රේෂ්ඨාධිකරණය ඒ වෙලාවේ බය වුණෙත් නැහැ. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සේවය අත්හිටුවා, වැඩ බලන පොලිස්පතිවරයකු පත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ජනාධිපතිට නියෝගයක් දුන්නා. අගමැති සහ කැබිනට් මණ්ඩලය එම නියෝගය පිළිගන්නේ නැති බව කීවා. නමුත්, අදටත් පොලිස්පති හැංගිලා ඉන්නවා. රනිල් වික්‍රමසිංහ මොන තරම් තර්ජන, ගර්ජන සිදු කළත්, අධිකරණය ඊට අවනත වුණේ නැහැ.
අධිකරණය අවනත නොවුණේ, ජනතාවගේ පැත්තේ ඉඳලා. ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය විසින් රකිනවා. නමුත්, රනිල් වික්‍රමසිංහගේ මේ ක්‍රියාව මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 4 වගන්තිවලින් ආරක්ෂා කර තිබෙන ජනතාවගේ පරමාධිපත්‍ය අයිතියට ඔහුගේ ක්‍රියාකාරීත්වයෙන් බලපෑම් කර ඇති බව විග්රහ කර තිබෙනවා. ඒ වාගේම ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය ඔහු විසින් උල්ලංඝනය කර ඇති බවත් සඳහන් කර තිබෙනවා. නඩු තීන්දුවේ 38 වැනි පිටුවේ ජනාධිපතිවරයා විසින් මුදල් ඇමැතිවරයා ලෙස කර තිබෙන අකටයුත්ත පිළිබඳව ඉතා පැහැදිලිව සඳහන් කර තිබෙනවා. මෙය ඔහුගේ නීති විරෝධී හැසිරීමක් බව පැහැදිලිව සඳහන් කර තිබෙනවා. සරල අර්ථයෙන් කියනවා නම්, 2023 මාර්තු මස 9 වැනි දින පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වැළැක්වීම සඳහා ඔහු නීති විරෝධීව ක්‍රියා කර ඇති බව තහවුරු කර තිබෙනවා. මේ රටේ ජනතාව ලක්ෂ 171කගේ ඡන්ද අයිතිය උදුරා ගැනීමට ජනාධිපතිවරයා දරන ලද උත්සාහය පිළිබඳව සමස්ත ජනතාවගේම අවධානය යොමු කළ යුතුයි” සුනිල් වටගල මහතා සඳහන් කරනවා.