රට පාලනය කරන්නේ දූෂිතයන්, මැරයන්, අපරාධකරුවන් නම් ඒ රටට අත්වන්නේ විපතක් පමණක් යැයි ජාතික ජන බලවේගයේ නායක, ජනාධිපති, අනුර කුමාර දිසානායක අවධාරණය කරයි.
ඔහු මේ බව අවධාරණය කළේ ඊයේ (26) ගොඩකවෙලදී පැවති ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරිමේ ජන රැලිය අමතමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජාතික ජන බලවේගයේ නායක, ජනාධිපති, අනුර කුමාර දිසානායක,
“ජනාධිපතිවරණයේදී අප ඔබට පොරොන්දු වුනා ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් දින කිහිපයක් තුළ පාර්ලිමේන්තුව විසුරුවාහරිනවා කියලා. ඒ ආකාරයෙන්ම අපි පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. රට පාලනය කිරීම සඳහා ජනාධිපති ධුරය වගේම ශක්තිමත් කැබිනට් මණ්ඩලයක් සහ ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය වෙනවා. ලබන වසර ඇතුළත පළාත් සභා මැතිවරණය පවත්වන්නත්, ඉන් පසු පළාත් පාලන මැතිවරණ පවත්වන්නත් අපි අපේක්ෂා කරනවා. අනේකවිධ දුක්ඛ, දෝමනස්සයන්ට ගොදුරු වී සිටින ජනතාවගේ ජීවිත ගොඩනැඟිය හැකි වන්නේ මෙම ආයතනවල ශක්තිමත් දේශපාලන යාන්ත්‍රණයක් තහවුරු කිරීමෙන් අනතුරුවයි. එම දේශපාලන යාන්ත්‍රණයේ ජනාධිපති ධුරය ජාතික ජන බලවේගය වෙත ලබාගෙන තිබෙනවා. ඊළඟට පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවන්න ඕනෑ. යහපත් දේශපාලන ගමනක් ආරම්භ කරන්න නම්, පාර්ලිමේන්තුව සුද්ද කරන්න ඕනෑ. අපේ රටේ පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයන් කෙරෙහි පවතින්නේ සුබදායී ආකල්පයක් නොවෙයි. ඇමැතිවරයකු කී සැණින් දූෂිතයකු, චණ්ඩියකු එහෙමත් නැත්නම් අපරාධකාරයකු පිළිබඳ අදහසක් එනවා. රටක් පාලනය කිරීමේ දේශපාලන නායකත්වය දරන්නේ අපරාධකරුවන්, චණ්ඩින්, දූෂිතයන් නම්, එවැනි රටකට විපත් පමණයි සිදු වන්නේ. රට එම තත්වයෙන් මුදාගෙන මුලින්ම දේශපාලනය කෙරෙහිත්, දේශපාලකයන් කෙරෙහිත් මහජනතාවගේ විශ්වාසය තහවුරු කරන්න ඕනෑ. ජනාධිපතිවරණයේ ජයග්රහණයෙන් පසුව ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසය විශාල වශයෙන් වැඩිවී තිබෙනවා. ජනතාව ආණ්ඩුව කෙරෙහි තිබෙන බැඳීම සහ විශ්වාසය වැඩිකර ගනිමින්, රට ගොඩනැඟීමේ දිශාවට ගමන් කරමින් සිටිනවා. ජාතික ජන බලවේගයේ අප වෙත පැවරී තිබෙන ප්‍රධාන වගකීම ඔබ, අප කෙරෙහි තැබූ විශ්වාසය තව තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමයි. එය මැනැවින් ඉටු කරන බව ඔබ හමුවේ තහවුරු කරනවා.
රට ගොඩනැඟීම සඳහා සමීප දේශපාලන නායකත්වයක් ඕනෑ. ඒ වෙනුවෙන් මහා මැතිවරණයේ දී තව පිම්මක් ගැනීම අවශ්‍ය වෙනවා. සියලු පද්ධති කඩාවැටී සමහර සංවර්ධන සැලැසුම් අහිතකර ප්‍රතිවිපාක ගෙනැවිත් දෙන සම්පත් අපතේ යවන තත්වයක් පවතින්නේ. ඒ නිසා කෘෂිකර්මාන්තයේ නම්, එය ගොඩනැඟීමට සමත් සමීප දේශපාලන නායකත්වයක් ඕනෑ. වෙනත් දෙපාර්තමේන්තුවක් ගොඩ ගැනීමට නම්, ඒ වෙනුවෙන් හැකියාව තිබෙන සමීප දේශපාලන නායකත්වයක් ඕනෑ. ශක්තිමත් මාලිමාවේ ආණ්ඩුවක් ගොඩනඟාගත යුත්තේ ඒ වෙනුවෙන්. රාජ්‍ය යාන්ත්‍රණයෙන් පමණක් රට ඉදිරියට ගෙන යන්න බැහැ. එය මෙහෙය වන්න, සැලැසුම් හදන්න, ඉදිරියට ගෙන යන්න නිවැරැදි දේශපාලන නායකත්වයක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් අවශ්‍ය දේශපාලන යාන්ත්‍රණය මේ මහා මැතිවරණයෙන් සම්පූර්ණ කර ගන්නවා. ඒ වෙනුවෙන් රත්නපුර දිස්ත්‍රික්කය සමඟ සමීප අවබෝධයක් තිබෙන මහජන නියෝජිතයන් දේශපාලන යාන්ත්රණයට අවශ්‍ය වෙනවා. ස්වාභාවික විපත්වලට මුහුණ දීම, මැණික් කර්මාන්තය ආදී මෙම දිස්ත්‍රික්කයට ආවේණික ආර්ථික ක්‍රියාමාර්ග නිවැරැදිව සැලැසුම් කරන්න සහ මෙහෙයවන්න ඒ පිළිබඳ සමීප අවබෝධයක් තිබෙන දේශපාලන යාන්ත්‍රණයක් අවශ්‍යයි.
හිටපු මුදල් ඇමැතිවරයාට, සෞඛ්‍ය ඇමැතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනා ගෙනාවා. බහුතර මන්ත්‍රීවරුන් ඒ මුදල් ඇමැති සහ සෞඛ්‍ය ඇමැති සුදනන් බව නම් කරමින්, අත ඉස්සුවා. ජනතාව දන්නවා ඔවුන් දූෂිතයන් බව. නමුත්, මන්ත්‍රීවරුන් ඔවුන් රැක ගැනීම වෙනුවෙන් අත උස්සනවා. මේ නිසා ක්‍රමානුකූලව පියවරෙන් පියවර පාර්ලිමේන්තුව කෙරෙහි තිබුණු ජනතාවගේ විශ්වාසය බිඳවැටුණා. ඒ නිසා ජනතාවට අප්‍රසන්න තැනක් බවට පාර්ලිමේන්තුව පත් වුණා. තව දුරටත් නරක පාර්ලිමේන්තුවක් ඕනෑ නම්, පරණ කට්ටිය ඉන්නවා. නමුත්, ලංකාවේ මෙතෙක් ගොඩනැඟුණු හොඳම පාර්ලිමේන්තුව ඕනෑ නම්, මාලිමාව නියෝජනය කරන සහෝදර, සහෝදරියන්ගෙන් පාර්ලිමේන්තුව පුරවන්න. රත්නපුර දිස්ත්‍රික්කයෙන් ඒ සඳහා හොඳම පිරිසක් තෝරාගෙන ඉදිරිපත් කර තිබෙනවා.
මේ රට ගොඩනැඟීම සඳහා තමන්ගේ කාලය, ශ්‍රමය, ධනය කැප කරනවා වාගේම විනයක් සහිත නීතිගරුක පිරිසක් ඕනෑ නම්, ඒ වෙනුවෙන් ඉන්නේ මාලිමාවේ කණ්ඩායම විතරයි. ඒ වාගේම ජනතාව සමඟ සමීපව කටයුතු කරන පිරිසක් ඉන්නෙත් මාලිමාවේ විතරයි. ගම්වල පවත්වන ශ්රමදානවලට වඩා ලොකුම ශ්‍රමදානයක් මඟින් පාර්ලිමේන්තුව පිරිසිදු කළ යුතුව තිබෙනවා. ඒ වෙනුවෙන් නොවැම්බර් 14 වැනිදා වෙන්වී තිබෙනවා. තව පිරිසක් කියනවා, විපක්ෂයක් ඕනෑ කියලා. නමුත්, අප මැදිහත් වෙන්නේ ලංකාවේ ශක්තිමත්ම ආණ්ඩුව පිහිටුවීමටයි. නොවැම්බර් 21වැනිදා පාර්ලිමේන්තුව කැඳවනවා. ඊට පෙර 25කට අඩු සංඛ්‍යාවකින් යුත් විද්‍යාත්මක කැබිනට් මණ්ඩලය හදනවා. කැබිනට් ඇමැතිවරුන්ට නියෝජ්‍ය ඇමතිවරයෙක් සහිත සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ලබාදෙන යාන්ත්‍රණයක් හදනවා. පාර්ලිමේන්තුව නියෝජනය කරන හැම දෙනාම රට ගොඩ නැගීම වෙනුවෙන් දායක කර ගන්නවා. පියවරෙන් පියවර නිවැරැදි තීන්දු ක්‍රියාත්මක කරමින්, රට ගොඩනැඟීමේ දිශාවට ගමන් කරනවා.
ජනාධිපතිවරණයෙන් පසු ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවන තෙක් පාලනය බිඳනොවැටී පවත්වාගෙන යාමට තුන්දෙනකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් ස්ථාපිත කළා. ඒක ලංකාවේ වගේම ලෝකයෙත් වාර්තාවක්. ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරයෙක් පත් වුවහොත්, ඩොලරය රුපියල් හාරසියට යන බව සමහර අය කිව්වා. නමුත්, ඩොලරය රුපියල් තුන්සීයට අඩුවෙන් පවත්වාගෙන යාමට අපට හැකි වී තිබෙනවා. වඩාත් යහපත් අයවැය ලේඛනයක් 2025 වසර සඳහා සකස් කරනවා. මේ වන විටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මහා භාණ්ඩාගාරයේ සහ මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් සාකච්ඡා කරමින් ඉන්නවා. ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය ප්‍රචාරය කළ ආකාරයේ ව්‍යසනයකට අපේ රටත්, ජනතාවත් ගොදුරු වීමට ඉඩ නොදී සාමාන්‍ය තත්වයෙන් පවත්වාගෙන යාමට අප සමත්වී සිටිනවා.
ඊට අමතරව අපේ ඉදිරි ඉලක්ක සැලැසුම් කිරීමට අවශ්‍ය තීන්දු-තීරණත් ගෙන තිබෙනවා. පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා කැබිනට් මණ්ඩලයකින් අනුමත කරගෙන පොහොර සහනාධාරය දෙන්න හිටියනම් මාස් කන්නය අවසන් වෙනවා. ඒ නිසා තුන්දෙනාගේ කැබිනට් මණ්ඩලයෙන් වී වගාව සඳහා හෙක්ටයාරයකට ලබා දෙන පොහොර සහනාධාරය රුපියල් 25,000 දක්වා වැඩිකළා. ඒ වාගේම ධීවරයන් සඳහා ඉන්ධන සහනාධාරයත් වැඩි කර දුන්නා. විශ්‍රාමිකයන්ට රුපියල් 3,000ක අමතර දීමනාවක් ඔක්තෝබර් මාසයේ සිට ලබා දෙන්නත් ක්‍රියා කළා. අපේ පළමු අය වැය ලේඛනයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරන්නත් සැලැසුම් කර තිබෙනවා. පාසල් දුවා දරුවන් සඳහා යම් දීමනාවක් දෙන්නත් අපි කල්පනා කරමින් ඉන්නවා. සාමාන්‍ය ජනතාව බලාගෙන ඉන්න සහනාධාර ලබාදීමටත් සැලැසුම් කර තිබෙනවා. මේ සියල්ල අතරේ රට ගොඩනැඟීම වෙනුවෙන් කෘෂි, ධීවර ක්ෂේත්‍ර මෙන්ම සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීමටත් සැලැසුම් සකස් කර තිබෙනවා. රත්නපුරය විශේෂයෙන්ම මැණික් කර්මාන්තය සමඟ ගැටගැසී තිබෙන නිසා එම කර්මාන්තය බිඳවැටීමට ඉඩ නොදී, පාරිසරික බිඳවැටීමකටත් ඉඩනොදී ක්‍රමානුකූලව තිරසර ආකාරයෙන් මැණික් කර්මාන්තය දියුණු කිරීමට සැලැසුම් සකස් කරනවා. ඒ තුළ සාම්ප්‍රදායික මැණික් කර්මාන්තය ආරක්ෂා කර ගනිමින්, පරිසරය ආරක්ෂා කර ගැනීම මූලිකම ඉලක්කයක්. වර්තමානයේ ජීවත් වන අපි සියල්ල කාබාසිනියා කරමින්, කටයුතු කරනවා වෙනුවට තිරසර සංවර්ධනයේ ප්‍රධාන අංගයක් ලෙස මැණික් කර්මාන්තය සංවර්ධනය කරන්න කටයුතු කරනවා. අනාගත පරපුර වෙනුවෙන් සම්පත් ආරක්ෂා කර දෙමින්, විධිමත්ව පරිහරණය කරනවා.
අධ්‍යාපන ක්ෂේත්රයේ පවතින විශාල ඛේදවාචකය අවසන් කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සමඟ මෑතක දී සාකච්ඡා පැවැත්වූවා. සමහර පාසල් තිබෙනවා, ඉගෙන ගන්න දරුවන් නැති. ඒ වාගේම දරුවන්ට පාසල් නැති ප්‍රශ්නයකුත් තිබෙනවා. මේ සියල්ල විධිමත් කරමින්, ක්‍රමවත්ව රට ඉදිරියට ගෙන යාම ආරම්භ කරනවා. නමුත්, අපේ ප්රතිවිරෝධී පාර්ශ්ව ආණ්ඩුව මාස තුනෙන්, හයෙන් වැටේවි යැයි ප්‍රචාර යවනවා. නමුත්, ජාතික ජන බලවේගය මේ රට ගොඩනඟා මිස ආපසු හැරෙන්නේ නැහැ. පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ශක්තිමත්ව මේ ක්‍රියාමාර්ග දියත් කිරීමට රත්නපුර දිස්ත්‍රික්කයෙන් මාලිමාවේ මහජන නියෝජිතයන් වැඩිම පිරිසක් තෝරා පත් කර යවන ලෙස ඉල්ලා සිටිනවා.”