මාතෘ භූමිය වැදූ මව හා සමාන බවට උගන්වා තිබුණත් රටේ තරුණ ප්‍රජාවට රට හැර යාමේ තත්ත්වයකට පොළඹවන යුගයක් නිර්මාණය වී ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පවසනවා.
ඒ අනුව රට අත්හැර යාමේ එකම සිහිනය තිබෙන තරුණ පරපුරට නව ජීවිතයක් ලබාදීම තම පාලනයක් යටතේ සිදු කරන බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.
‘තරුණ පරම්පරාව වෙනුවෙන් නව අනාගතයක් නිර්මාණය කරමින්, නිදහස් ජීවිතයක් තිබෙන, ජීවිතය විඳිය හැකි නව ආර්ථිකයක් ජාතික ජන බලවේගයෙන් නිර්මාණය කරනවා.
ඒ වෙනුවෙන් ලෝකයට අවශ්‍ය කරන මෘදුකාංග ඉංජිනේරුවන්ගේ පුරප්පාඩුවලින් සැලකිය යුතු පංගුවක් අපේ තරුණ පරම්පරාවට අත්කර දෙන්න ඕනෑ.
කෘෂිකර්මාන්තය ආශ්‍රිතව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් බවට තරුණ පරම්පරාව පත්වෙන්න ඕනෑ.
ඒ වෙනුවෙන් මූලික ප්රාග්ධනය, නව තාක්ෂණික දැනුම ලබාදීමෙන් අවශ්‍ය පහසුකම් සපයා දෙනවා.
දේශීය පමණක් නොවෙයි, ලෝකයේ නව වෙළඳපොළවල් සොයාගෙන යන තානාපති සේවයක් අපි ඇති කරනවා.’
යනුවෙන් ද අනුර දිසානායක ප්‍රකාශ කර සිටියා.