එළැඹෙන සැප්තැම්බර් 21 දින පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සිය අපේක්ෂක නාමයෝජනා පත්‍රයට අද (12) පෙරවරුවේ අත්සන් තැබුවා. ඒ බත්තරමුල්ල, පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ දී යි.
“ජනාධිපතිවරණය ඉතාම තීරණාත්මකයි. අපේ රට විශාල අර්බුද ගණනාවක හිටපු පාලක පන්තීන් විසින් පත්කරලා තියෙනවා. මේ අර්බුදයෙන් අපේ රටේ ජනතාව මුදවා ගැනීමේ අභියෝගය ජාතික ජන බලවේගය භාරගන්න සුදානම්. අපි තබන ලද මේ අත්සන සහතික වශයෙන් ජයග්‍රාහී අත්සනක් බවට අපි පරිවර්තනය කළ හැකියි. අනෙක් කඳවුරු එක එක කණ්ඩායම්වලට බෙදිලා, කැඩිලා එක එක කුණු එකතු කරන තත්ත්වයකට පත්වෙලා. ජාතික ජන බලවේගය අවුරුද්දකට එකහමාරකට කලින් අපි පටන් ගත්තේ. අපි ඉතාමත් ශක්තිමත්ව, සංවිධානාත්මකව මහජනතාව දැනුවත් කරමින් අද දක්වා මේ ගමන දියත් කරලා තියෙනවා. මේ දින කිහිපය තුළ ඉතාමත් ශක්තිමත්ව අපිට මේක මෙහෙයවිය හැකියි. ඉන් අනතුරුව අපේ රට පොහොසත් රටක් බවට පත්කරන අභියෝගයත්, ජනතාවට ලස්සන ජීවිතයක් උරුම කරදීමේ අභියෝගයත් ජාතික ජන බලවේගය භාරගන්න සුදානම්” එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මහතා පවසා තිබුණා.
මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සමඟ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයින් පිරිසක් ද එක්ව සිටියා.