මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්නගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානයේදී ඊයේ (3) විශේෂ සාකච්ඡාවක් පැවැත් වූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.

මෙම විශේෂ සාකච්ඡාව පවත්වා ඇත්තේ මෙරට තුළ ආන්දෝලනයට තුඩුදුන් ජාතිකතලයේ අපරාධ, වංචාවන් සහ වෙනත් විශේෂ අපරාධ සම්බන්ධයෙන් පොලිසිය පවත්වනු ලබන විවිධ විමර්ශනවල ප්‍රගතිය සොයාබැලීම සඳහාය.

මේ සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය, පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක්ද එක්වූ බව පොලිසිය පැවසීය.

මේ වනවිට සිදුකරගෙන යමින් පවතින විමර්ශන මොනවාද, තාවකාලිකව නවත්වා තිබෙන විමර්ශන ඇත්නම් ඒ මොනවාද, එසේ නැවැත්වීමට දේශපාලන හේතු බලපා තිබෙනවාද යන්න සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමුකර ඇත.

මේ අතර අනවශ්‍ය ලෙස ප්‍රමාද වී තිබෙන විමර්ශන සහ අළුතින් ආරම්භ කළ යුතු විමර්ශන ඇත්නම් ඒවා මොනවාද යන්න සම්බන්ධයෙන්ද මෙහිදී විශේෂ අවධානයක් යොමුව තිබේ.

එමෙන්ම එසේ විමර්ශන ප්‍රමාද වී තිබේනම් ඒවා මොනවාද යන්න පිළිබඳවද සාකච්ඡා කළ බවද පොලිසිය සඳහන් කරයි.

මෙහිදී වැදගත් විමර්ශන රාශියක් පිළිබඳ අවධානය යොමු කර ඇති අතර එම සාකච්ඡාවට අදාළ කරුණු පිළිබඳ වාර්තාවක් සකස්කර ඉදිරි විමර්ශන සිදු කෙරෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් පවසයි.